2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා

මගේ වැදි බණ

 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 147

මේ සාහිත්‍ය මාසය. සාහිත්‍ය වසන්තය. ඒත් ඇත්ත ඒක නෙමෙයි. ඇත්ත බී.එම්.අයි.සී.එච් එකේ පොත් ප්‍රදර්ශනය තියෙන මාසේ කාලා බීලා වළක් බැහැලා ආතල් එකක් ගන්න මාසය සමහර අයට. සමහර අයට පොඩියට රවුමක් දාලා පොතක් දෙකක් තෝරගන්න පුළුවන් කාලය මේක. නිකන් නෙමෙයි ඩිස්කවුන්ට් එකකුත් එක්ක. ඒ නිසා ගොඩක් පොත් කියවන අය පොත් මිටි පිටින් අරන් යන්නේ කියවන්නම නෙමෙයි අඩුවට ගන්න පුළුවන් නිසා. හැබැයි ඒ ගැන වරදක් කියන්නේ නෑ.

දැන් එමු කතාවට. ගොඩක් අය කියන්නේ පොත් ප්‍රදර්ශනය කියන්නේ නූඩ්ල්ස් කන්නයි, බීම බොන්නයි, රස්තියාදුවක් දාන්නයි තියන අවස්ථාවක් කියලා. මේ නිසා ඔබ දැකලා ඇති ඉස්සර ඉඳලම පත්තරවල පිටු පිරෙන්න ලියනවා මේ ප්‍රදර්ශනයට ගොඩක් අය එන්නේ කාලය කන්න, රස්තියාදු ගහන්න කියලා. හැම අවුරැද්දෙම දෝෂාරෝපණය. ඒක පොඩි ට්‍රෙන්ඩ් එකක් වෙලා. කොහොම වුණත් මම ආස නෑ ඒ රස්තියදුවට බණිනවට. හේතුව ඒ රස්තියාදුව තමයි හරි රස්තියාදුව.

හිතන්න රස්තියාදු ගහන්නේ මේ නරක තැනක නෙමෙයි. පොත් ගොඩක. කන්නේ බොන්නේ මේ පොත් අස්සේ. මේ රස්තියාදු ගහන උන් හුස්ම ගන්නේ මේ පොත් අස්සේ. උන් ඉබේටම ඒ දවස් කීපය ඇතුළේ පොත් ගන්න පෙළඹෙනවා. උන් රස්තියාදුව වෙනුවට පොත් අස්සේ රස්තියාදු ගහන්න ඉබේ පුරුදු වෙනවා.

දැන් බලන්න මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වන උන් ගොඩක් ඒ දේට ඇබ්බැහි වෙන්නේ ඒ සමාජයේ පරිසරයේ ගැවසන කාලයත් එක්ක. මිනිස්සු හරි හෝ වැරදි පාරේ යන්නේ ඒ තමන් ගැවසෙන පරිසරය අනුව. හිතන්න පොත් ප්‍රදර්ශනයේ රස්තියාදු ගහන එකෙක්ට හිතෙන්න බැරිද පොතක් ගන්න? පොතක් කියවන්න. එහෙමත් නැති නම් පොතක් ලියන්න. ඒ නිසා මිනිහෙක් එන අරමුණ වෙනස් වෙන්න පුළුවන් ඒ පරිසරය අනුව.

නූඩ්ල්ස්, සොසේජස්, බීම, බිරියානි ඕන දෙයක් කන්න පුළුවන් එතන්ට ඇවිත්. කාලා ඉස්මුරුත්තාවට ඇවිදින්නත් පුළුවන් ඒ ඇවිදිනකොට ආස හිතිලා පොතක් ගන්නත් පුළුවන්. ඒකයි මිනිස්සුන්ගේ පෙළඹවීම. එහෙම නැතුව මේ ප්‍රදර්ශනයට පොත් ගන්නම එන්න කියලා බලපෑම් කරන්න එපා.

තවම අපේ සමාජය සීයට සීයක් කියවීමේ උණ බෝවෙලා නෑ. ඒ උණ ඇති කරන එකත් ලේසි නෑ. හැබැයි කියන්න සතුටුයි අද වෙනකොට බහුතරයක් පොත පත ඇසුරු කරන තැනකට ඇවිත් තියෙනවා. ඒක යහපත් ප්‍රතිචාරයක්. ඒ නිසා අනෙක් සුළුතරයත් මේ රෝගයට, බෝවෙන්න ගොදුරු වෙන්න ඉඩ හරින්න. එහෙම නැතුව උන් තටු ගහගෙන එනකොට උඹලට බෑ කියන්න එපා. කියවීම කියන එක ඇබ්බැහි වෙන්න ඕන කාරණයක්. එහෙම ඇබ්බැහි වෙන්න එහෙම සමාජයක් ඕනේ. සෝබනේට හරි  පොතක් අරගෙන අතේ තියාගන්න පුළුවන් ක්‍රමයක් හැදුවොත් ඒ සමාජය දියුණු සමාජයක් වෙන එක නවතින්න බෑ.

බස් එකේ හරි, කෝච්චියේ හරි පාරෙ හරි පේන්න, පොතක් කියවනවා නම් උඹ ඒකට හිනා වෙන්න එපා. උඹත් ඒ සෝබනේට එකතු වෙයන්. කෝච්චිය, බස් එක ඕමියක්, ඕපයක් දාන තැනක් වගේම කියවන තැනකුත් කරන්න උදව් වෙයන්. අනෙකාගේ සෝබනේ, ඇඩ් එක, ලොකු සීන් එක නෙමෙයි වැදගත් අපේ අරමුණ. අන්න ඒ අරමුණ වෙනවා නම් ඒකට ඉඩ දියන්. එන්න අපි කියවීමේ සමාජයක් හදමු.

►මම 
බ්‍රෝ