2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

මගේ වැදි බණ

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 122

 “මා නැත අන්සතු සිත් බිඳලා
  දෑතම බැඳගෙන හිඳිමි බලා
  මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
  රහස් අහස් තලයට පවරා..."

මේ ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක මහත්තයගේ "සඳකැන් වැසිලා..." සින්දුවේ අවසාන පද පෙළ. මේක ලිව්වේ ලිවීමේ කලාව උප්පත්තියේ ජානවලින්ම අරගෙන ආපු අමුතුම චරිතයක් වෙච්චි ප්‍රේමකීර්ති අල්විස් මහත්තයා. ඔහු ලියන මේ සින්දුව පුරා තියෙන්නේ තමන්ගේ බිරිඳත් එක්ක වෙනත් පිරිමියෙක් යහන් ගත වෙලා ඉන්නකොට තමන්ගේ අතටම අහුවෙන සිද්ධියක්. හැබැයි මේකේ ඉන්න අසාධාරණයට ලක්වෙච්චි පිරිමියා පුදුම සංයමයක් තියෙන මිනිහෙක්. ඔහු මේ සිද්ධිය දැක්කම කියනවා "උඹ මගේ හිත කැඩුවට මම උඹේ හිත කඩලා නෑ. ඒ නිසා මම අත්දෙක බැඳගෙන බලාගෙන ඉන්නවා උඹ දිහා" කියලා. කොච්චර සංවේදී සංයමයක් තියෙන නූතන පිරිමියෙක්ද? හොඳම කෑල්ල කියන්නේ අන්තිමට. "අපි දෙන්නා මේ ලෝකයෙන් කවදා හරි වෙන් වෙමු. හැබැයි අපේ රහස් අහසට මුදා හැරලා" කියලා. ඒ කියන්නේ මොකක්ද? ඔවුන් දෙන්නගේ තිබ්බ ආදරය, කතා බහ, රහස්, මේ තමන්ගේ ඇස් පනා පිට පේන දේවල් ආදී සියල්ල අහසට මුදා හැරලා අපි වෙන්වෙමු කියලා.

දැන් එමු මේ කතාවෙන් වර්තමානයට. අද කාලයේ මේ වගේ හික්මීමක්, ඉවසීමක් තියෙන ප්‍රේමවන්තයෝ ඉන්නවද? නෑ. එක වචනයෙන් සම්පූර්ණ බැඳීම කඩලා දානවා. අද කාලේ දීගේ කඩාගන්න හේතු මොනවද? එක්කෝ ගෑනිට පිරිමි යාළුවෝ වැඩියි. නැත්තන් ගෑනිගේ ෆේස්බුක් එකේ වැඩියෙන් කොමන්ට් කරන පිරිමියෙක් ඉන්නවා. එහෙම නැත්තන් එෆ්බී එකේ වැඩිම මැසේජ් කරන්න පිරිමියෙක් ඉන්නවා. වැඩිම කෝල් ගන්න පිරිමියෙක් ඉන්නවා. පාටි එකකදී හග් කරපු පිරිමියා වගේ දේවල්. ඔය කාරණා ටිකේම අනික් පැත්ත පිරිමියාටත් අදාළයි. ඔය ටිකට අමතරව එක්කෝ කෝල් එක ගන්නකොට ෆෝන් එක ගත්තේ නෑ කියලා. ඔය වගේ කාරණාත් දැන් දැන් බලපාලා වෙන් වෙන්න. මේ දේවල් වෙනකොට නතර වෙන්නේ කොහෙන්ද? එක්කෝ කෙල්ලව මරණවා කියනවා, නැත්තන් තමුසෙට ඉන්න දෙන්නේ නෑ කියනවා, නැත්තන් කෙල්ලගේ රහසිගත ‍ෆොටෝ ලීක් කරනවා, මැසේජ් කරපුවා ස්ක්‍රීන් ෂොට් ගහලා වටේ යවනවා. අන්න ඒ වගේ දේවල් තමයි අද කාලේ තරුණයෝ කරන්නේ. කී දෙනයිද ඉවසලා තේරුම් අරගෙන ඈත් වෙන්නේ. එකෙක් නෑ.

මේ කාරණයට හේතුව තමයි අද කාලේ තියෙන ප්‍රේම කතාවල ඇති බර නැතිකම, වෙනත් වචනයකින් කියනවා වගකීමක් නැතිකම. හේතුව අද කාලේ බොහොමයක් ප්‍රේම කතා ආරම්භ වෙන්නේ කට්ට කාලා නෙමෙයි. ෆේස් බුක් එකෙන්. මේ නිසා ප්‍රේමයේ බර නැතිවෙලා ‘ප්‍රේමය’ මැසේජ් එකටයි, වීඩියෝ කෝල්වලටයි සීමාවෙලා. මේ නිසා තත්ත්පරයෙන් අනෙකාගේ කතාවකට අනෙකාට ප්‍රතිචාර දක්වන්න පුළුවන්. ඒකෙන් වෙන්නේ හැම තිස්සෙම අඩදබර, මරාගැනිලි, දෙන්නගෙන් කිසිම කෙනෙක් ඉවසන්නේ නෑ. මේ නිසා අවසානයේ දෙන්නා කතා වෙලා ඉවත්වෙනවා. ප්‍රේම සම්බන්ධතා කැඩෙනවා, පවුල් කැඩෙනවා, එහෙම වුණාම තමන්ගේම ප්‍රේමවන්තිය, බිරිඳ ගැන හැම තැනම විවේචන පතුරවනවා. වර්තමාන භාෂාවෙන් කියනවා නම් "රෙදි ගලවනවා. අන්තිමට වෙන්නේ ජීවිත අහිමි කර ගැනීම. ඒ මේ නොහික්මුණු ප්‍රේම කතා නිසා.

ඒ නිසා හැමවිටම උත්සාහ ගන්න ප්‍රේමයට ප්‍රේම කරන්න, ආදරේ කරන්න විශ්වාසය කරන්න. ඒ වගේම විශ්වාසය රකින්න. තමන් ඉවත් වුණායින් පස්සෙ තමන්ට ආදරේ කරපු කෙනාගේ ජිවිතය විනාශ කරනවා නම් එතන තියෙන්නේ ආදරේ නෙමෙයි වෛරය. ඒක භයානකයි. මරණය විතරක් නෙමෙයි මිනීමැරුමක් වෙනකල් නොහික්මුණු ප්‍රේමය යන්න පුළුවන්. ඒ නිසා ඉවසන්න. ඉවසලා රහස් අහස් තලයට පවරලා වෙන් වෙන්න.

මම 
බ්‍රෝ

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00