
බරණැස් නුවර වඩුවෙක් ලී දඬු සොයා වනයට ගියා. එහි ටික දුරක් යනවිට අතරමං වුණු ඌරුපැටියෙක් හමුවුණා. මේ වඩුවා ඒ පැටියා ගෙදර ගෙන ආවා. කන්න බොන්න දී ඇතිදැඩි කළා.
කාලයක් ගෙවුණා. ඌරුපැටියා ලොකු මහත් වුණා. ඇඟ විශාල වුණා. දළ පවා මතුවුණා. ගැමියෝ මේ ඌරාව වඩ්ඩසූකර ලෙස හැඳින්වූවා.
එන්න එන්නම ඌරා ආරන්න වුණා. මිනිසුන් මූ මරාගනී යැයි වඩුවා බිය වුණා. සමහරු ඌරා මුදල්වලට ඉල්ලුවා. ඒ මරන්න. වඩුවා කල්පනා කරන්න වුණා. ඌරාගේ ජීවිතය බේරාගන්නේ කෙසේද කියා ඔහුට අදහසක් ආවා. ඌරා අරගෙන වනගත වුණා. හැමතැනම ඇවිද්දා. ඌරු රංචුවක් ඉන්න පෙදෙසක් හමුවුණා. වඩුවා වඩ්ඩසූකර ඒ රංචුව ඉන්න පැත්තේ දමා ගෙදර ආවා. වඩ්ඩසූකරත් වඩුවා පස්සේ ආවේ නෑ. සිය වරිගය දෙසට ගියා. ඒ ඌරු රංචුව වඩ්ඩසූකරට කරදරයක් හිරිහැරයක් කළේ නෑ. හොඳින් පිළිගත්තා. මෙහි කෑම බීම අඩු නැද්ද? වඩ්ඩසූකර ඔවුන්ගෙන් ඇසුවා.
ඔබ උන්න ගමේ වගේ ළඟට ලැබෙන්නේ නෑ. සොයාගන්න ඕනෑ. මහන්සි වුණොත් හිඟවෙන්නේ නෑ. රෑනේ ඌරෙක් කිව්වා.
මෙහේ සතුරු කරදර ඇතිවෙන්නේ නැද්ද?
ඌරෝ මුහුණට මුහුණ බලාගත්තා. බියෙන් වගේ උන්නා.
ඇයි කතා නැත්තේ. බයවෙලා වගේ.
අපට ලොකු සතුරෙක් ඉන්නවා.
ඒ කවුද?
ව්‍යාඝ්‍රයෙක්. ඌ ඇවිත් අපේ උන් අල්ලාගෙන යනවා.
හැමදාම එනවද?
නෑ ඉඳහිටලා එන්නේ.
කොහේ සිටද එන්නේ?
මීට ටිකක් දුරින් තවුසෙක් ඉන්නවා. ඒ තවුසා තමයි ව්‍යාඝ්‍රයා එවන්නේ. ඌ ඇවිත් මේ පරුවත මුදුනේ සිට අපේ රංචුවට පැන එකෙක් අරන් යනවා.
හරි මම ඔය ව්‍යාඝ්‍රයා අල්ලා දෙනවා.
අනේ කොච්චර හොඳද? ඔබට එය කරන්න පුළුවන්ද?
හරි කරන්නම්. හැබැයි මම කියන දේවල් ඔබලා කරන්න ඕනෑ.
ව්‍යාඝ්‍රයා අල්ලන්න අපි ඕනෑම දෙයක් කරනවා.
එහෙනම් අපි ඒ සටනට සැරසෙන්න ඕනෑ. පළමුකොට පරුවතයට කිට්ටුවෙන් බොරු වළක් හදන්න පටන්ගනිමු. වඩ්ඩසූකර කිව්වා. ඌරෝ බොරු වළක් හෑරුවා. එය රොඩුවලින් වැසුවා. ඊළඟට මෙතැන සිට උමඟක් කැපිය යුතුයි. වඩ්ඩසූකර කිව්වා.
ඌරෝ එයත් කළා.
දැන් අපි ව්‍යාඝ්‍රයා එන ලකුණු බලා වළලු කිහිපයක් හැදෙන්න ඕනෑ. පළමු වළල්ල කුඩා ඌරන් හැදෙන්න. ඊළඟ වළල්ල ඊරියන්ගේ. ඒත් එක්කම වළල්ල නාඹර ඌරන්ගේ. මැද්දේ වළල්ල දළ ඇති සවිමත් ඌරන්ගේ. වඩ්ඩසූකර කිව්වා.
ඌරු රංචුව ඒ කීමට පෙරහුරුවක් වුණා. එය හොඳට සාර්ථක වුණා. ඔවුන් විසිර ගියා.
පසු දින හිරු උදාවී පහන් වනවිට ව්‍යාඝ්‍රයා පරුවත මුදුනින් මතුවුණා.
එවිට ඌරු රංචුව බොරු වළ වටා පෙරහුරුව ලෙස වළලු ගැසුණා.
ව්‍යාඝ්‍රයා ඌරන් දෙස බැලුවා. ඌට අද උන් වෙනදාට වඩා අමුතු බව පෙනුණා. ටික වෙලාවක් බලා හිටියා. ව්‍යාඝ්‍රයා ඇඟ කිළිපෙලුවා.
එවිට ඌරොත් ඇඟ කිළිපෙලුවා.
ව්‍යාඝ්‍රයා මළ මුත්‍ර කළා.
ඌරොත් එසේ කළා.
ව්‍යාඝ්‍රයා කල්පනා කළා. අද නම් ඌරන් වෙනස් වෙලා. බය ඇරිලා. සිතුණා. ආපසු හැරුණා. යන්න ගියා. එවිට වඩ්ඩසූකර කිව්වා ඌ ඔය ගියාට ආපසු එන්න පුළුවන්. ඒ නිසා අපි මෙතැන කොහෙටවත් නොගිහින් ඉන්න ඕනෑ.
ඌරෝ එය පිළිගත්තා. පරුවතය දිහා විමසිල්ලෙන් බලා උන්නා.
ව්‍යාඝ්‍රයා තාපසයා ළඟට ගියා. පැත්තකට වුණා.
කෝ මස් ගෙනාවාද? තාපසයා ඇසුවා.
මොන මස්ද? අද ඌරෝ වෙනස් වෙලා. රංචු ගැහිලා අමුතු විදිහට බලා ඉන්නවා.
ඔබ උන්ට බිය වුණාද?
නෑ සැකයක් ඇතිවුණා.
කුමටද සැක කරන්නේ මෝඩයා. ඔබ ඒ ඌරන්ට වඩා කොපමණ ශක්තිමත්ද? අනෙක ඔබ ජන්මයෙන්ම ඌරන්ට වඩා කොච්චර වංශවත්ද? බලසම්පන්නද? ඔබේ පැරැණියන් ගැන හිතාපන්. උන් කිසිමදාක ඔබ වගේ ඌරන්ට බියේ ඇවිත් නෑ. මුතුන් මිත්තන්ට අගෞරව කරන්න එපා.
ඉතින් දැන් තාපසතුමා කුමක්ද මට කියන්නේ?
කියන්නේ පලයං මෝඩයා. ඌරෙක් මරාගෙන වරෙන්.
ඇත්ත නේන්නම්. ඌරන්ට බයේ ව්‍යාඝ්‍රයෝ පසුබහිනවද? කියා හිතුවා. යළිත් පරුවතයට නැග්ගා.
ඌරෝ පෙර සේ වළලු ගැසී හිටියා.
ව්‍යාඝ්‍රයා වේගයෙන් ඌරන් මැද්දට පැන්නා.
ඌරන් උමඟට රිංගුවා.
ව්‍යාඝ්‍රයා බොරු වළට වැටුණා. හිස යටවුණා. දඟලන්න වුණා.
වඩ්ඩසූකර ව්‍යාඝ්‍රයාගේ ඇඟට පැන්නා. දළෙන් ඇන්නා. අනෙක් ඌරොත් පැන්නා. ටික වෙලාවක් ගෙවුණා. ව්‍යාඝ්‍රයාගේ ඉතිරිවුණේ හමයි ඇටයි විතරයි.
ඌරන් රංචුව ගොඩට ආවා. දැන් ඉතින් නුඹලට බියක් සැකක් නැතිව ඉන්න පුළුවන් නේද? වඩ්ඩසූකර ඇසුවා.
එහෙම ඉන්න හම්බවෙන්නේ නෑ.
ඒ ඇයි?
ඔය තාපසයා මහ නපුරා. තවත් ව්‍යාඝ්‍රයන් උසිගන්වා අප වෙත එවයි.
ඒ තාපසයා ඉන්න තැනට අපි රංචුවම ගිහින් එයත් විනාශ කරමු. වඩ්ඩසූකර කිව්වා.
ඌරන් රංචුව එකඟ වුණා. පිටත් වුණා.
මේ අතර තාපසයා ව්‍යාඝ්‍රයාගේ පමාව නිසා ඌ සොයාගෙන ආවා.
ඌරන් තාපසයා දැක්කා. පස්සෙන් එළවාගෙන ගියා.
තාපසයා බිය වුණා. දුවගෙන ගිහින් දිඹුල් ගහකට නැග්ගා. ඌරොත් දුවවිත් ගහ වටකළා. වඩ්ඩසූකර ඊරියන්ට කිව්වා හැකි පමණ වතුර ගේන්න. උන් ගෙනාවා. ගහ මුලට දැමුවා. දළ ඇති ඌරෝ ගහේ මුල හෑරැවා. තැලුවා. මුදුන් මුල අහුවුණා. එම මුලත් වටවෙලා තැලුවා. එය කැඩුණා. දිඹුල් ගස බිමට වැටුණා. ඌරෝ තාපසයා වටකරගත්තා. තාපසයාගේත් ඉතිරිවුණේ ඇටකටු විතරයි.
(වඩ්ඩසූකර ජාතකය ඇසුරින්)