2023 පෙබරවාරි 26 වන ඉරිදා

හැකියාවන් ඔප දමන්න තව කෙනෙකුට උදව් කරන්න

 2023 පෙබරවාරි 26 වන ඉරිදා, පෙ.ව. 06:00 193

ලෝකය කියන්නෙ තනි යායක් නෙවෙයි.... මාෂල් මැක්ලූහන් ඉදිරිපත් කළ ගෝලීයකරණය වැනි සංකල්පයක් තුළ විශ්වය විශ්ව ගම්මානයක් ලෙස තාක්ෂණය වැනි මාධ්‍යයක් තුළ ලඝුකරණය වුණාට විශ්වය කියන්නෙ ඇත්තටම විසල් යායක්. ඒ විසල් යාය තුළ සැරිසරද්දී අපිට හමුවෙන පුද්ගල චරිත එහි ස්වභාවයන් වගේම අපේ ජීවිත හා විවිධ ප්‍රවේශ ඔස්සේ ගැටගැහෙන ඔවුන් ඇසුරෙන් අප විඳින අත්දැකීම්ද විවිධාකාරයි.

මිනිසුන් සතු විවිධ ස්වරූප අතර ඔවුන් සතු විවිධ හැකියාවන් සහ කුසලතා කියන්නෙ පුද්ගල අනන්‍ය කාරණාවක්. ඇතැම් පුද්ගලයන්ට තම හැකියාවන් ඔපපට්ටම් කරගන්න වේදිකාවන් මුණගැසුණත් එය සියල්ලන්ටම ඒ ආකාරයෙන් නොලැබී යන්නත් පුළුවන්. කෙනෙක් සතු හැකියාවන් හඳුනාගෙන ඒ හැකියාවන් මැණික් සේ ඔපමට්ටම් කර දිදුලවන්නට වදනකින්වත් ඔබට උපකාරයක් කළ හැකිනම් ඇත්තටම ඔබ ඔබේ ජීවිතය තුළ අත් විඳින සුන්දරම අත්දැකීමක් බවට එය නිතැතින්ම පත්වේවි. 
තමන් කළ කී දේ ස්මරණය කරමින් ඔබ ඔබ ගැනම ආත්ම සංතෝෂයක් අත්විඳින දවසක එය ඔබට ඉමහත් ආත්ම තෘප්තියක් දනවන කරුණක් වේවි. විශ්ව විද්‍යාල ගුරුවරයෙක් වශයෙන් විශ්ව විද්‍යාලය තුළ දී ශිෂ්‍ය ශිෂ්‍යාවන් සතු කලා කුසලතා හඳුනාගෙන ශිල්පය පිරිනමන වේදිකාවම ඔවුන්ගේ එම කුසලතා ඔප් නංවාගැනීමට වේදිකාවක් බවට පත් කළ යුතු යැයි මට හිතුණා.

දේශනයක් අවසානයේ ගායනයක්, වාදනයක් වේදිකාව වෙත පැමිණ ඉදිරිපත් කරන්න මම ඔවුන්ට අවස්ථාව සලසා දෙන්නෙ ඒ අනුව, පුද්ගලයෙක් සතුව සැඟවුණු විවිධ විභව ශක්තීන් පවතී. ඒවා ඉස්මතු කිරීමට දෙමාපියන් මෙන්ම ගුරුවරුන්ද කටයුතු කළ යුතුයි. ඒ සඳහා වේදිකාවක් සකසාදිය යුතුයි.   සැබැවින්ම කෙනෙක් සතු විභව ශක්තීන් අප හඳුනාගනේ කොහොමද? එම විභව ශක්තීන් වර්ධනය කරගැනීම ඔවුන්ගේ පෞරුෂය වර්ධනයට ධනාත්මකව බලපාන්නෙ කොහොමද? ඒ ගැන අද අපි මනෝ විද්‍යාත්මක ප්‍රවේශයකින් කතා කරමු.

මේ පිළිබඳ විශේෂයෙන් පර් යේෂණ කරපු මනෝවිද්‍යාඥයින් දෙදෙනෙකු සිටිනවා. එක් මනෝවිද්‍යාඥයෙක් වන්නේ මානුෂවාදී මනෝවිද්‍යා ගුරුකුලයේ නිර්මාතෘ ඒබ්‍රහම් මෑස්ලෝ. මැස්ලෝගේ න්‍යාය පදනම් වී ඇත්තේ සාර්ථක, නිරෝගී පුද්ගලයන් පිළිබඳ අධ්‍යයනය මතය. ඒබ්‍රහම් මැස්ලෝ ඇල්බට් අයින්ස්ටයින්, ඒබ්‍රහම් ලින්කන්, එලිනෝර් රූස්වෙල්ට් වැනි අය සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීය. මැස්ලෝට අවශ්‍ය වූයේ පියවරෙන් පියවර අවශ්‍යතා තෘප්තිමත් කරමින් මෙම පුද්ගලයින් තම පෞරුෂය වර්ධනය කරගත් ආකාරය සොයා බැලීමටය.

මැස්ලෝට අනුව මිනිස් ස්වභාවය මූලික වශයෙන් යහපත් මිස අයහපත් නොවේ. සාමාන්‍ය මානව සංවර්ධනයට මෙම නෛසර්ගික යහපත්කම සැබෑ කර ගැනීම ඇතුළත් වේ. මැස්ලෝට අනුව මිනිසුන්ට යහපත් දේ කිරීමට ප්‍රබල පෙළඹවීමේ බලයක් ඇත. මිනිසුන් සැමවිටම උත්සාහ කරන්නේ තමන්ට විය හැකි හොඳම කෙනා වීමටයි. මැස්ලෝ යෝජනා කළේ ආත්ම සාක්ෂාත්කරණය කිරීමේ අවශ්‍යතාවය තෘප්තිමත් කිරීම සඳහාය. එක් එක් පුද්ගලයා පළමුව ධූරාවලියේ අඩු අවශ්‍යතා තෘප්තිමත් කළ යුතු බවයි. එක් අවශ්‍යතාවයක් තෘප්තිමත් වූ පසු පමණක් පුද්ගලයා ධූරාවලියේ ඊළඟ අවශ්‍යතාවය සඳහා පෙළඹේ. 

අවශ්‍යතා ධූරාවලියේ මූලිකම අවශ්‍යතා වන්නේ කුසගින්න, පිපාසය, නින්ද සහ ලිංගිකත්වය ඇතුළත් කායික අවශ්‍යතාය. ධූරාවලියේ ඊළඟට ආරක්ෂක අවශ්‍යතා වේ. මේවාට ආරක්ෂාව, ස්ථාවරත්වය යනාදිය ඇතුළත් වේ. ධූරාවලියේ ඊළඟට ආදරය අවශ්‍යතා ඇතුළත් වන අතර ඒවාට රුකවරණය සහ අනුබද්ධතාවයේ අවශ්‍යතාවය ඇතුළත් වේ. ධූරාවලියේ ඊළඟට ආත්ම අභිමානය, ගෞරවය, කීර්තිය සහ ජයග්‍රහණ යනාදිය ඇතුළත් වේ. අවසාන වශයෙන්, ඉහළම මට්ටමේ ආත්ම සාක්සාත්කරණය කර ගැනීමේ අවශ්‍යතාව පවතී. 

ආත්ම සාක්ෂාත්කරණය යනුවෙන් අදහස් කරන්නේ යම් පුද්ගලයෙකුට තම විභව ශක්තීන් භාවිත කොට ළඟාවිය හැකි ඉහළම ස්ථානය. මැස්ලෝ දක්වන ආකාරයට පුද්ගලයෙකු සතුව විභව ශක්තීන් පවතිනවා. විභව ශක්තීන් කියන්නෙ තමා සතුව පවතින දියුණු කළ හැකි ශක්තීන්. පුද්ගලයෙකුට සිය විභව ශක්තීන් දියුණු කර ගැනීමට අවශ්‍යතාවක් පැවතිය යුතුයි. ඒ අනුව එම අවශ්‍යතාව මත තම විභව ශක්තීන් හඳුනාගත යුතුයි. ඉන්පසුව එම විභව ශක්තීන් ඉස්මතු කිරීම මත සිය පෞරුෂය දියුණු කර ගැනීමේ හැකියාව සැලසෙනවා. විභව ශක්තීන් දියුණු කරගැනීම ඔස්සේ ආත්ම සාක්සාත්කරණය කරා යොමුවන්නට පුළුවන්.

මේ පිළිබඳව අවධානය යොමු කළ මනෝවිද්‍යාඥයෙකු ලෙස කාල් රොජස් පෙන්වා දෙන්නට පුළුවන්. කාල් රොජර්ස් දක්වන ආකාරට පුද්ගලයෙක් මූලික වශයෙන් යහපත්ය. සෑම පුද්ගලයෙකුටම සිය පෞරුෂය දියුණු කර ගැනීමේ හැකියාවක් පවතිනව. තම විභව ශක්තීන් නැතහොත් තම සුවිශේෂී කුසලතා හඳුනා ගැනීම. මේ සඳහා අවශ්‍ය වෙනව. (1) වර්ධනය වීමට හෝ ඇති වීමට ඇති ආවේනික හැකියාව, සහ (2) විභවයක් ඇති පුද්ගලයෙකු හෝ දෙයක් විභව ශක්තියක් වශයෙන් අර්ථවත් කරන්නට පුළුවන්. 

තම විභව ශක්තීන් අවධි කර ගැනීම තුළින් පුද්ගලයෙකුට ආත්ම සාක්සාත්කරණය කරා යොමු වන්නට පුළුවන්. මෙය සිදුවන්නේ  ඔබ ඔබේ ඉහළම හැකියාවන් හඳුනාගෙන ඉහළම හැකියාවන් කරා ළඟා වුවහොත් පමණි. කෙසේ වෙතත්, මෙය එක රැයකින් සිදු නොවන අතර මාර්ගයේ සෑම විටම මාර්ග බාධක පවතී. එම බාධක ජයගෙන ආත්ම සාක්සාත්කරණය කරා යොමුවිය යුතුය. ඒ සඳහා ඔබට පහත ක්‍රමවේදයන් අනුගමනය කරන්නට පුළුවන්.

ඔබේ අරමුණ සොයා ගන්න - ඔබට අවශ්‍ය පළමු දෙය නම් ඔබට සැබවින්ම යාමට අවශ්‍ය ස්ථානයට මඟ පෙන්වීමක් තිබීමයි. මෙය සිදුකිරීම සඳහා, ඔබ මුලින්ම ඔබේ ජීවිතයේ අරමුණ කුමක්ද? යන්න සොයා බැලිය යුතුය.

ඔබේ ප්‍රමුඛතා දැනගන්න - ඔබේ ඉහළම හැකියාවන් කරා ළඟා වීමට අවධානය යොමු කිරීම අවශ්‍ය වේ. ඔබේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට උපකාරී වන ක්‍රියාකාරකම් සහ දේවල් කෙරෙහි ඔබේ ශක්තිය යොමු කළ යුතුය. මෙයින් අදහස් කරන්නේ ඔබේ ප්‍රමුඛතා නිවැරදිව සැකසීම සාර්ථකත්වයට අවශ්‍ය බවයි.

ඉලක්ක තබන්න - ඔබේ අරමුණ සොයා ගැනීම සඳහා, ඔබ යම් කාලයක් තුළ සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය ඉලක්ක තැබීම වැදගත් වේ. ඔබට සතියක් ඇතුළත පොතක් අවසන් කිරීමට හැකි වීම වැනි කෙටි කාලීන ඉලක්ක හෝ වසර පහකින් ඔබේ ව්‍යාපාරය ස්ථාපිත කිරීම වැනි දිගු කාලීන ඉලක්ක නිර්මාණය කළ හැකිය.

හැකිතරම් කුසලතා ඉගෙන ගැනීමට උත්සාහ කරන්න - නව කුසලතා ඉගෙන ගැනීමට ඔබට ඉඩ සලසන අවස්ථා ලබා ගන්න. නිපුණතා පුහුණුව ලබා දෙන සම්මන්ත්‍රණ හෝ වැඩමුළු සඳහා සහභාගීවන්න. ඔබ සතුව ඇති කුසලතා වැඩි වන තරමට ඔබට සාර්ථක පුද්ගලයෙක් විය හැකියි.

ඔබගේ දැනට පවතින දක්ෂතා/නිපුණතා වැඩිදියුණු කළ හැකි ආකාරය සොයා බලන්න - වැඩිදියුණු කළ කුසලතා ඔබට ඔබේ අනාගතයට වැඩි ඉල්ලුමක් ඇති කළ හැකිය. එබැවින් ඔබ සතුව පවතින දක්ෂතා/ නිපුණතා වැඩිදියුණු කළ හැකි ආකාරය සොයා බලා ක්‍රියා කරන්න.

ඉගෙනීම නවත්වන්න එපා - ඔබ කෙතරම් වයසට ගියත්, සෑම විටම ඉගෙනීමට සහ නව දැනුම ඉගෙන ගැනීමට මාර්ගයක් සොයා ගන්න. තාක්‍ෂණය දිනෙන් දින වේගයෙන් දියුණු වන අතර දැනුම ද එසේමය. මෙම හේතුව නිසා, ඔබ කිසි විටෙකත් පසුබසිනු නොලබන ලෙස ඔබ යාවත්කාලීනව තබා ගත යුතුය.

ඔබේ අනාගතය ගැන සුභවාදී වන්න - ශිඛරය උස වන තරමට එය ඉහළට බෑවුම් වේ. ඔබේ ඉහළම විභවය කරා ළඟා වීමට දැඩි කැමැත්තක් අවශ්‍ය වේ, මන්ද එය කරා යන ගමන පහසු නොවනු ඇත. මෙම ක්‍රියාවලියේදී ඔබ කෙතරම් අරගල කළත්, ඔබේ නොපසුබට උත්සාහයේ ඵලය කවදා හෝ නෙලා ගැනීමට හැකිවනු ඇතැයි ධනාත්මක වන්න.

අසාර්ථකත්වය සාර්ථකත්වයේ පියවරක් ලෙස සලකන්න - අසාර්ථක වීම නොවැළැක්විය හැකිය. කෙසේ වෙතත්, ඔවුන් ඔබේ ඉලක්ක අත්හැරීමට හේතුවක් නොවිය යුතුය. ඒ වෙනුවට, ඔබට ඒවා ඔබේ ශිල්පයේ වඩාත් ඵලදායී වීමට ඔබව හැඩගස්වන අභියෝග ලෙස සැලකිය හැකිය. ඊළඟ වතාවේ එය වඩා හොඳින් කිරීමට පෙළඹවීමක් ලෙස ඒවා භාවිතා කරන්න.

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00