2023 පෙබරවාරි 05 වන ඉරිදා

ඔබ ඔබම වෙන්න

 2023 පෙබරවාරි 05 වන ඉරිදා, පෙ.ව. 06:00 315

“බොහෝ විට අප ඇසුරු කරන අය අප කෙරෙහි ප්‍රසන්නශීලී වන්නේ ඔවුන් අපගේ යම් හොඳක් දැක ඇති නිසාවෙනි. එම නිසා ඔබ ඔහු හෝ ඇය කෙරෙහි විමසිලිමත් විය යුතුමය. එම පුද්ගලයා කතා කරන විට ඔබ ඔහුට හෝ ඇයට සවන් දෙන්න. එසේම ඔබ කතා කරන විට එම පුද්ගලයා ඔබට සවන් දෙන්නේ දැයි විමසිලිමත් වන්න. ඔහුට හෝ ඇයට පෙර ඔබ සිනාසෙන්න. අගය කළ යුතු තැනකදී අගය කරන්න. එසේම ඔහු හෝ ඇය සමඟ වෙනත් අයගේ ගුණ කීම ද කරන්න. ඔබට යම් අයෙකුගේ සිත දිනාගැනීමට අවශ්‍ය නම් ඔබ ඔහු පිළිබඳව අවංකව ආදරයෙන් සැලකිලිමත් වෙන්න." 

ක්‍රිෂ්ණමූර්ති පඬිතුමා කියූ කියමනක් ඔස්සේ ඔබ ඔබම විය යුතු තැන, ඔබ ඔබම වන්නේ කෙසේද යන්නත්, ඔබ නිර්මාණශීලී චින්තනයක් සහිත ස්ව අනන්‍යතාවක් ඇති අයෙකු ලෙස ගොඩනැගෙන්නේ කෙසේද යන්නත් ගැන කතා කරන්න මට හිතුණා.

හුඟාක් මිනිසුන් ජීවිතයේ සියල්ල දකින්නේ හුදෙක් ගනුදෙනුවක් විදිහට විතරයි. ජීවිතයේ අප එකිනෙකා සමඟ ගනුදෙනු සිදු කරන අවස්ථා අපේ වෘත්තීය ජීවිතය තුළ, අපේ සමාජ ජීවිතය තුළ සහ අපට අනන්‍ය අපේ ජීවිතය තුළ තියෙන්න පුළුවන්. එහෙත් ආධ්‍යාත්මිකව ආදරණීය සහ සෞන්දර්යාත්මක මනෝභාවයන් පෙරදැරිව ජීවිතයට පාර හොයන තැන්වලදී ජීවිතය යනු හුදු ගනුදෙනුවක් විදිහට විතරක් දකින්න එපා. 

ජීවිතය සහ ජීවත් වීම කියන්නෙ සංකල්ප දෙකක්. ජීවිතයට හුස්මක් දෙන තැන තමයි ජීවත්වීම නිර්මාණය වෙන්නෙ. ඔබ ජීවිතය දකින්නේ ජීවත්වීම තුළයි. අත්දැකීම් තරම් ජීවිතය අපූරුවට කියා දෙන තවත් දෙයක් නැති තරම්. නිශ්චිත රාමුවක් තුළ කිසිවිටෙකත් රාමුගත කළ නොහැකි ජීවිතය වෙනුවෙන් ඔබ විවරණ හෝ විචාර ඉදිරිපත් කළ යුතු නැහැ. ඔබ කළ යුත්තේ ජීවත්වීම තුළ ජීවිතයෙහි විවිධ ස්වරෑපයන් හඳුනා ගැනීම පමණයි. ඔබ යම් තැනක ඔබ මඟහැර ගන්නේනම් ඔබ මඟහැර ගන්නේ ඔබ වෙනුවෙන් ඔබ පමණක් නොවේ. ඔබ මඟහැර ගනු ලබන්නේ ජීවිතයයි. ජීවිතය මඟ නොහැර ජීවිතය දකින ඉඩහසරක් තුළ ඔබ සැබැවින්ම ජීවත්වීම යන්න පරිපූර්ණ ලෙස අත්විඳිනු ලබයි.

ගනුදෙනුවක් යන සීමාසහිත හුවමාරුව තුළ කේන්ද්‍රගත නොවූ සීමාරහිත මානවීය බැඳීම් නිමැවුණු යම් තැනක් ජීවත්වීම තුළ හමුවේද අන්න එතැනදී ඔබ නිසැකයෙන්ම අත්විඳිනු ලබන්නේ ජීවිතයේ සෞන්දර්යාත්මක චමත්කාරයයි. චමත්කාරය යනු සියලු සෞන්දර්යන්ගේ හරය එක්වූ තෝතැන්නයි. චමත්කාරය ජීවිතය තුළ විඳීම යනු සෞන්දර්යාත්මක ප්‍රවේශයන් ඔස්සේ ජීවිතය වින්දනය කිරීමයි.

සෞන්දර්යාත්මක මනෝභාවයන්හි සියුම් සංවේදී සුන්දරත්වය මනින්නට හැකි ඒකකයක් ලොව කොතැනකවත් නිම වී නැත. එය සීමාවක් සලකුණු නොවූ අනන්ත හැඟීම් සමුදායකින් සුසැඳි පාරාදීසයකි. ඔබ ඔබම වී පෙනෙන සියල්ල විනිවිද නොපෙනෙන ගැඹුර, නොපෙනෙන සුන්දරත්වය, නොපෙනෙන චමත්කාරය හදවතින් සහ දෑසින් දකින්නට හුරු වූ කලෙක ඔබට කිසිදාක ඔබ මඟ නොහැරෙනු ඇත. ඔබට ඔබ හමුවනු ඇත.

රබීන්ද්‍රනාත් තාගෝර් වරෙක මෙසේ පැවසුවේය. ඔබ ඔබේම සංකල්පවලින් සන්නද්ධ නොවන තාක් නිර්මාණශීලිත්වය ඔබට හමු නොවේ. ඔබ සියල්ල විනිවිද දකිමින් ඔබේම සංකල්ප නිර්මාණය කර ගැනීමේ පළමු පියවර වන්නේ නිදහස් චින්තනයයි.
ඇදහිල්ලට චින්තනය තුළ ඉඩක් නැත, ඇදහිල්ල අතික්‍රමණය කරමින් චින්තනය ඔබ අවදි කළ යුත්තේ කෙසේද?

ඔබ ඔබේම තාලයක් අනුව, ඔබ ඔබේම රිද්මයක් අනුව, සියල්ල නිරීක්ෂණය කළ යුතුය. සියල්ලෙහි න්‍යෂ්ටිය දක්වා මනසින් සහ මසැසින් ගමන් කළ යුතුය. ඔබ ඔබට යමක් දැනෙන ආකාරය අනුව විඳිය යුතුය. සිතිය යුතුය. චින්තනය නිර්මාණය වන්නේ ඔබ යමෙකු විසින් නිර්මාණය කළ කිසිදු රාමුවකට කිඳා නොබැස ඔබ ඔබම වූ නිදහස් අවකාශයක සරන මොහොතකය.

කිසිදු මොහොතක ඔබ අනුකරණවාදියෙකු නොවන්න. ඔබ නිදහසේ දකින්න... නිදහසේ සියල්ල විඳින්න. නිදහසේ සියල්ල නිරීක්ෂණය කරන්න... නිදහසේ සියල්ල සොයන්න... ජීවිතයේ ඇවිදිය යුතු තැන ඇවිදින්න. නැවතිය යුතු තැන නවතින්න. පාවිය යුතු තැන පාවෙන්න‍. ඔබට ඔබ මඟ නොහැරුණු, ඔබට ඔබ හමුවුණු නිදහස් නිර්මාණශීලි අවකාශයක මිහිර විඳිනු හැකි වන්නේ එවන් සොඳුරු ඉසව්වකදීය.

ඔබ ඔබම වන්නේ කෙසේද යන කරුණ කෙරෙහි අවධානය යොමු කරන විට ඔබේ සැබෑ ආත්මය, ඔබේ සැබෑ ජීවිතය හඳුනාගන්නට ඔබට හැකියාව ලැබෙනවා. 

ඔබ දක්ෂ දේ සොයන්න. මෙය ඔබ සැබවින්ම කවුරුන්ද යන්න සොයා ගැනීමට අපහසුම පියවර විය හැකි නමුත් එය අත්‍යවශ්‍ය පියවරක් ලෙස පෙන්වා දෙන්නට පුළුවන්. පුද්ගලයෙකු විවිධ කුසලතාවලින් සමන්විත වෙනවා. ඔබේ කුසලතා ඔබ විසින්ම සොයා ගැනීම මගින් ඔබට ඔබ දක්ෂ දේ සොයාගත හැකියි. මනෝවිද්‍යාවේ තිබෙනවා බහුවිධ බුද්ධි න්‍යායක්. එමගින් පෙන්වා දෙන්නේ පුද්ගලයෙක් විවිධ බුද්ධීන්ගෙන්, විවිධ කුසලතාවලින් සමන්විත වන බව. හොවාඩ් ගාඩ්නර් නම් මනෝවිද්‍යාඥයා විසින් ඉදිරිපත් කරන ලද පහත සදහන් බුද්ධි ප්‍රභේද අතරින් තමාගේ බුද්ධි ප්‍රභේද හඳුනා ගැනීමට උත්සාහ ගන්න. ඇතැම්විට මින් කිහිපයක් මිශ්‍රවද පුද්ගලයෙකු තුළ පැවතිය හැකියි.

1. වාග් බුද්ධිය (Linguistic Intelligence) පුද්ගලයා භාෂාවේ විවිධ ශබ්ද, රිද්ම හා අර්ථ කෙරෙහි සංවේදි වෙයි. භාෂාවේ විවිධ ප්‍රභේද කෙරෙහි උනන්දු වෙයි.

උදා - කවියන්, සාහිත්‍යකරුවන්, ජනමාධ්‍යවේදීන් මේ ඝණයට අයත් වෙයි.

2. තාර්කික හා ගණිතමය බුද්ධිය - (Logical and Mathematical Intelligence)

තාර්කික හා සංඛ්‍යානමය රටා අවබෝධ කර ගැනීමද දීර්ඝ තාර්කික ප්‍රකාශයන් තේරුම් ගැනීමටද මෙම බුද්ධිය ඉවහල් වෙයි. ගණිතඥයන් හා විද්‍යාඥයන් මේ ඝණයට අයත් වෙයි.

3. සංගීත බුද්ධිය - (Musical Intelligence)

රිද්මය හා සෘතිය රස වින්දනයටද ඒවා නිෂ්පාදනයටද සංගීතමය ප්‍රකාශන අගය කිරීමටද හේතු වේ. සංගීතඥයන්, වාදකයන් මේ ගණයට අයත් වෙයි.

4. අවකාශිත බුද්ධිය (Spatial Intelligence)

දෘෂ්‍ය අවකාශ නිවැරදිව සංජානනය කිරීමට එය ක්‍ෂණිකව කිසියම් ආකෘතියක් බවට පත්කිරීමට මෙම බුද්ධිය ඉවහල් වෙයි. නාවිකයන්, ගෘහ නිර්මාණ ශිල්පින්, මිනින්දෝරු ශිල්පීන්, චිත්‍ර ශිල්පීන් මේ ගණයට අයත් වෙයි.

5. කායික චලග්‍රාහක බුද්ධිය (Bodily Kinesthetic)

ශරීරයෙහි විවිද චලනයන් හැසිරවීමෙහි හා ශරීරය ආධාර කර ගනිමින් විවිධ වස්තුන් හැසිරවීමට නර්තන ශිල්පින්, ක්‍රීඩකයන් මේ ගණයට අයත් වෙයි.

6. අන්තර් පුද්ගල සම්බන්ධතා බුද්ධිය (Intelligence of Intrapersonal Relationship)

අන්‍යයන්ගේ හැඟීම්, චිත්තවේග, අභිලාසයන් අවබෝධ කරගෙන ඒවාට ප්‍රතික්‍රියා දැක්වීමට මෙම බුද්ධිය ඉවහල් වෙයි. මනෝ උපදේශකවරුන්, ආගමික හා දේශපාලන නායකයන් මේ ගණයට අයත් වෙයි.

7. අන්තර් පුද්ගල බුද්ධිය (Intrapersonal Intelligence)

තම චිත්ත අභ්‍යන්තරව යොමුවෙමින් තමන්ගේ හැඟීම්, බුද්ධිය හා අභිලාසයන් මෙන්ම තමන්ගේ කුසලතා මෙන්ම දුර්වලතා විනිවිද දැකීමට මෙම බුද්ධිය ඉවහල් වෙයි. එමඟින් තම චර්යාව පාලනය කිරීමේ හැකියාවද ඔවුන් සතුව පවතී. ආත්ම ඥානයක් සහිත අය මේ ගණයට අයත් වෙනවා. 

ඔබ සෙවීමේදී ප්‍රතිපෝෂණ පිළිබඳ විමසන්න.

ඔබ ඔබ ගැන නොදන්නේ නම්, ඔබ ගැන අන් අය පවසන දේ ඇසීම ප්‍රයෝජනවත් පුරුද්දක්. ඔවුන්ගෙන් සරල ප්‍රශ්න දෙකක් අසන්න: "මට තවදුරටත් වර්ධනය වීමට අවශ්‍ය යැයි ඔබ සිතන්නේ කුමක්ද?” සහ “ඔබ සිතන්නේ මාගේ දුර්වලතා මොනවාද?” යන්නයි. එමඟින් ඔබට තවදුරටත් වර්ධනය කරගත යුතු අංශ වර්ධනය කර ගැනීමටත් තමාගේ දුර්වලා හඳුනා ගැනීමටත් පුළුවන්කම ලැබෙනවා.