2023 ජනවාරි 22 වන ඉරිදා

ආදරය, සංවේදීත්වය නැති හදවතකින් ආදරය කරන්න එපා

 2023 ජනවාරි 22 වන ඉරිදා, පෙ.ව. 06:00 257

ප්‍රේමයක් දැනෙන තැන ඔබට නවතින්න අවැසිනම් යන්න ගිහින් නැවතී ඉන්න... එහෙම කියන්න තරම් ඉවසිලිවන්ත වෙමින් ආදරය ආදරයෙන් සහ ප්‍රේමය ප්‍රේමයෙන් අත්හල යුතු තැන අත්හල හැකිනම් ආදරය සහ ප්‍රේමය යනු ජීවන සෙනසුන මත තැබූ සුවඳවත් කුසුමක් ලෙස හඳුනාගත් කෙනෙක් ඔබ, කියන තැනින් ඇරඹුමට ප්‍රවේශය තියන්න මම කැමතියි. 

ආදරය සහ ප්‍රේමය තුළ සන්නිවේදනය සහ සංවේදීත්වය කියන්නෙ පැවතිය යුතුම මනරම් මනෝභාවයන් යැයි මම කීවොත් ඔබට පුළුවන්ද මාත් එක්ක එකඟ වෙන්න.  මම කැමතියි ඔබත් එක්ක මෙහෙම මාතෘකාවක් කතා කරන්න. බැඳීමකදී, ගනුදෙනුවකදී, බෙදා හදා ගැනීමකදී වචන කෙරෙහි සංවේදීත්වය හුඟාක් වැදගත්. සන්නිවේදනයේ ප්‍රබලම ප්‍රපංචයක් තමයි වචන කියන්නෙ. සන්නිවේදනයේදී අප භාවිත කරන වචන තුළින් ආදරණීය හැඟුම්බර පසුබිමක් නිර්මාණය කරන්නත් රළු සිත් රිදවන විඩාපත් පසුබිමක් නිර්මාණය කරන්නත් කෙනෙකුට පුළුවන්.

වස් කවියක් ලියවෙන්නෙත් වචනවලින්. සෙත් කවියක් ලියවෙන්නෙත් වචනවලින්. පිරිතක් කියන්නෙත්, ගීතිකාවක් කියන්නෙත් රිද්මයක් සම්මිශ්‍රණය වූ වචන සමුදායක හරවත් ගැයුමක්... ශාපයක් යැදිල්ලක් කියන්නෙත් වචන සමුදායක එකතුවක්... වචනය කියන්නෙ කොයිතරම් බලවත් ආයුධයක්ද කියන එකයි ඇත්තටම මට ඔබට පැහැදිලි කරන්න අවශ්‍ය වුණේ...

ආදරය සහ ප්‍රේමය කියන සංකල්ප ප්‍රායෝගිකව විඳිද්දිත් ඔබ වචන කෙරෙහි හුඟාක් සංවේදී වීම වැදගත් වන්නේ එම සංකල්ප අනෙකා වෙත ප්‍රකාශනයක් ලෙස එළි දැක්විය හැකි සොඳුරු සන්නිවේදනයක පදනම වෙන්නෙ වචන නිසා. නිර්වාචික සන්නිවේදනය වගේම වාචික සන්නිවේදනයත් ආදරය සහ ප්‍රේමය තුළ හරි ප්‍රබලයි.

ආදරය මහමෙරක් තරම් තිබුණත් අනෙක් පාර්ශ්වය වෙත ඔබට එය කවර මාධ්‍යයකින් හෝ සන්නිවේදනය කළ නොහැකි තැන හිත් සියුම් ලෙස රිදෙන තැන් නිර්මාණය වෙන්නෙ නිරායාසයෙන්. ආදරණීය සුවිශේෂී ආමන්ත්‍රණයක් කියන තැන සිට ඔබ වචනවලට සංවේදී විය යුතුයි. 

පෙම්වතා හෝ පෙම්වතිය වෙන්න පුළුවන්. මිතුරෙක් හෝ මිතුරියක් වෙන්න පුළුවන්. එකිනෙකාගේ වචන පිළිබඳ සංවේදී වීම වැදගත්. උදාහරණයක් ගතහොත් සමාජ මාධ්‍ය තුළ ඔබ පළ කරන යම් පින්තූරයක්, උපන්දිනයක්, සංවත්සරයක්, ලිපියක්, වෙනත් වැදගත් දෙයක් සම්බන්ධයෙන් ඔබට සුබ පතා ආශිර්වාද කොට යම් කෙනෙක් වචන යොදන්නේ නම් ඔබ ඒ කෙරෙහි සංවේදීව ප්‍රතිචාර දැක්වීම වැදගත් වෙනවා. එසේ නොවුවහොත් ඔබ ඒ වචන නොසලකා හැරීමක්. එමගින් ඒ වචන යෙදූ පුද්ගලයාගේ සිතෙහි කලකිරීමක්, එපාවීමක් ඇතිවීම නොවැළැක්විය හැකි දෙයක්. ඔබ කවර තරාතිරමක පුද්ගලයෙක් වුවත් අනෙකාගේ වචන කෙරෙහි සංවේදී වීම වැදගත් දෙයක්. 

ඒ වගේම ආදරයේ තවත් එක් ප්‍රබලතම ප්‍රකාශන මාධ්‍යයක් තමයි සංකේත... 

හදවත් සංකේතය කියන්නෙ ආදරය සහ ප්‍රේමය පිළිබඳව හඟවන සොඳුරුතම සංකේතයයි. අතීතයේ දී ආදරය හුවමාරු වුණේ පෙම් හසුන් ඔස්සේ... ඇත්තටම එය හරි නිර්මාණාත්මක ප්‍රවේශයක්... කවි, ගී පද ආදර වදන්, සංකේත පිරුණු තැනක් පෙම් හසුනක් කියන්නෙ. ඒත් අද පෙම් හසුන් ලියන පෙම්වතුන් නෑ...

අද ඉන්නෙ බහුතරයක් වට්ස්අප්, වයිබර්, ඉමෝ, මැසෙන්ජර් වැනි සමාජ මාධ්‍ය උපයෝගිත්වයෙන් ආදරය බෙදාගන්න තාක්ෂණික පෙම්වතුන්. 

ප්‍රේමය තුළ ආදරය තුළ තවරා සුවඳවත් කළ යුතු ඉවසීම, දරාගැනීම, සමුගෙන යන්නට අවසර ඉල්ලන තැන නොරිදවා සමුදීම වැනි ප්‍රේමණීය ධර්මතා බහුතරයක් පෙම්වතුන් තුළින් ගිලිහෙන්නෙ තාක්ෂණය කියන්නෙම මාධ්‍යයක් මිස නවාතැන්පොළක් නොවන නිසා... සාහිත්‍යය වැනි නවාතැන්පොළකදි මුණගැසෙන ආදරණීය ධර්මතා උපකරණ පූර්ව වෙමින් ගොඩනැගෙන තාක්ෂණය තුළින් වියුක්ත වෙන නිසා. එය අද සමාජය අත්විඳින පොදු කටුක යථාර්ථයක්... තාක්ෂණික වහල්භාවය තුළ, එය අවශ්‍ය තැනදී අවශ්‍ය සීමාව තුළ භාවිත කළ යුතු මෙවලමක් බව අවබෝධ කර ගත නොහැකි තැන තමන්ට තමන් අහිමිවීම දක්වා මඟහැරෙන, අත්හැරෙන තැන් බොහෝමයි.

අපි කතා කරමු සංකේත ගැන...

සංකේත අප ජීවත් වන ලෝකය පිළිබඳ අවබෝධය පහසු කරනවා, මිනිසුන් තමන් අවට ලෝකය පිළිබඳ හැඟීමක් ඇති කිරීමට පමණක් නොව, සන්නිවේදනය තුළින් සමාජය හඳුනා ගැනීමට සහ සහයෝගයෙන් කටයුතු කිරීමට සංකේත භාවිත කරනවා.
සංකේතයක් කියන්නෙ මනෝභාවයක නිර්වාචික ප්‍රකාශනයක්. ඒ නිසා සංකේත භාවිතයේදී ඒ සංකේතය තුළින් හඟවන අර්ථය පිළිබඳ අවබෝධය වගේම සංවේදීත්වයත් වැදගත් වෙනවා. මහපට ඇඟිල්ල ඉහළට එසවුණු අත සංකේතය තුළින් හැඟවෙන්නෙ මිත්‍රත්වය සහ එකඟතාවය නම්  වට්ස්අප්  වැනි සමාජ මාධ්‍යයක් ඔස්සේ ඔබ ඔබේ පෙම්වතියට, පෙම්වතාට යමක් විෂයෙහි ප්‍රතිචාර දක්වද්දී ඇය හෝ ඔහු එයට අකමැති වෙන්නේ සහ සංවේදී වෙන්නේ ආදරය සහ ප්‍රේමය යනු ඉන් එහා උත්තරීතර මනෝභාවයක් ලෙස දකින නිසා වෙන්න පුළුවන්. 

අන්න එහෙම පසුබිමකදී වචන කෙරේ දක්වන සංවේදීත්වය හරි වැදගත්. ඔබට වචන සමුදායකින් ප්‍රකාශ කළ යුතු දේ හදවත වැනි සංකේතයකින් පිරිනමන්න පුළුවන්. ඒ වගේම අනෙකා යමක් කෙරේ අකමැති නම්, ඔබ දක්වන ප්‍රතිචාරයකට එකඟ නොවන්නේ නම්, ඒ සාධාරණ පසුබිමක් තුළ නම්, අකමැති දේ නැවත නැවත කරමින් ඔහු හෝ ඇය රිදවීම කියන්නෙ ඔබ අසංවේදී වීමක්. ඔහුට හෝ ඇයට ඔබ ගෞරව නොකිරීමක්. 

ආදරයේ වඩාත් ප්‍රසිද්ධ, විශ්වීය සංකේතය හෘද හැඩැති අයිඩියෝග්‍රුෆි වන අතර එය ආදර ප්‍රේමයේ හරය, ආදරණීය හැඟීම් සහ සැලකිල්ල සංකේතවත් කරනවා.

ආදරයේ සංකේත ලබා දීම පුද්ගලයෙකුට අපගේ අවධානය ආකර්ෂණය කර ගැනීමට සහ ඔවුන් අපෙන් අවශ්‍ය දේ ලබාගැනීමට මාර්ගයක් විය හැකියි. අපි ඒ පුද්ගලයා වෙත ආකර්ෂණය වන්නේ ඔවුන් අපට ලබා දෙන සංකේත අගය කරන බැවින්. 
යම් කෙනෙක්ට ඔබේ ආදරය සහ සෙනෙහස ප්‍රකාශ කිරීම ඔබ වෙනුවෙන් එයම කිරීමට ඔවුන්ව පොළඹවනවා. ඔබේ කැපවීම, කැපවීම සහ පක්ෂපාතිත්වය ප්‍රදර්ශනය කිරීමට වඩා හොඳ ක්‍රමය කුමක්ද? අන් අයට ආදරය කිරීම ඔබට වෙනත් පුද්ගලයෙකුට විවෘත වීමටත්, නිර්මල, කොන්දේසි විරහිත ආදරය සඳහා ඔබේ අභ්‍යන්තර හැකියාව සොයා ගැනීමටත් ඉඩ සලසනවා.

“ඔවුන් ඔබට අවංකවම ආදරය කළත්, ඔබේ සහකරු ඔබට ආදරය නොලබන්නේ මන්දැයි ඔබේම ආදර භාෂාව දැනගැනීම ඔබට තේරුම් ගැනීමට උපකාර කරයි,” යනුවෙන් චැප්මන් පවසා තිබෙනවා. වෙනස් වූ හැසිරීම්වලට තුඩු දිය හැකි ඔවුන් සමඟ විවෘත සන්නිවේදනයක් ඇති කර ගැනීමට මෙය භාවිත කරන්න පුළුවන්. 

සම්බන්ධතාවයකදී වචනවල බලය කියන්නෙ සම්බන්ධතාවය සමතුලිත කරන යටි සිතේ ශක්තියක්. ඔබ තෝරාගන්නා වචන සහ ඔබ යමක් පවසන ආකාරය ඔබේ සමීපතමයින් ඔබට වඩාත් සමීප කරවනවා. අනෙක් අතට, ඔබ සෘණාත්මකව පෞද්ගලිකව ඇසුරු කරන වචන ඔබට වඩාත් බලපානවා.