2022 නොවැම්බර් 20 වන ඉරිදා

මිනිස් ඇසින් එහාට දෙවියන්ගේ ඇසින් ලෝකය දකින්නට - අයිලා -

 2022 නොවැම්බර් 20 වන ඉරිදා, පෙ.ව. 06:00 52

ළය ලෙය ගැඹුරේ ස්නේහයක් දළුලන යම් තැනක් වේද සමුගැනීමකට වුව ඒ බැඳීම කිසිදා බිඳිනු නොහැකිය. මරණයට වුව ඒ ස්නේහය මරා දමනු නොහැකිය. ආදරය ආදරය වෙසින්ම වෙසෙසින්ම දැනෙන තැන එය සියලු භාෂාවන්හි සියලු වචන එකට එක් කළත් මෙයැයි නිර්වචනය කරනු නොහැකිය. එවැනි සොඳුරු සුගැඹුරු බැඳීමක් ගැන කැන් අල්කේ (Can Ulkay) විසින් අධ්‍යක්ෂණය කළ අයිලා - යුද්ධයේ දියණිය (Ayla -The daughter of war) කොරියානු සිනමා රෑපකාරකය ඔස්සේ කතා කරයි.

සිනමාමය නිමැවුමක් කියන්නෙ වදන් වියමනකට එහා ගිය සියුම් භාවමය කියවීමක්. ඒ කියවීම කතා කරන්නේ හදවතේ ගැඹුරුම ඉසව්වලට සහ ජීවිතයට. අයිලා සිනමා වියමන තුළ කතා කරන්නේ යුද්ධය විසින් පුංචි දියණියකට අහිමි කරන අම්මාගේත් තාත්තාගෙත් ආදරය සහ ඇගේ ජීවිතයේ ඒ හිස්තැන පුරවන යුද හමුදා නිලධාරියෙකුගේ ලේ බැඳීමකටත් එහා ගිය අප්‍රමාණ පීතෘත්වය ගැන. යුද්ධයෙන් සහමුලින්ම විනාශ වී යන ගොවිපොළක් සහිත ගමකින් එම හමුදා බලමුළුව නික්මී යද්දී ඔහුට ඇහෙනවා සිහින් ඉකිබිඳුමක්. 

යුද්ධයට බොහෝ දෑ විනාශ කළ හැකි වුවත් යුද්ධයට කිසිදා ආදරය සහ මනුෂ්‍යත්වය පිළිබඳව අවසන් හැඟීම් මාත්‍රය මේ මිහි මඬලෙන් මිහිදන් කළ නොහැකි වගට ඔහුගේ හදවත ඒ මොහොතේ සපයන සාක්ෂිය ඉතාමත් සංවේදීයි... අනුවේදනීයයි. ඒ පුංචි කෙල්ල අයිලා... ඔව් කාත් කවුරුත් නැතුව මේ මිහිමත අසරණ වූ ඒ පුංචි කෙල්ල අයිලා. තරුණ හමුදා නිලධාරියා ඇයව තම දියණිය ලෙස සෙනෙහසින් තම තුරුලට ගන්නෙ රුකවරණය සහ ආදරය ඇයගේ ජීවිතය වෙත පිරිනමන පොරොන්දුවෙන්... එහෙත් ලෙයින් උපදින ඒ පොරොන්දුවට යුද්ධය විසින් නිර්මාණය කළ රළු නීති, රීති සහ කොන්දේසි හරස් වෙන්නෙ අයිලා ජීවිතය ආදරය සහ රුකවරණය අයදින ඇගේ නොවන ඇගේම තාත්තාගෙන් හැමදාටම වෙන් කරමින්. 
ඒත් භෞතිකව සමුගැනීමක සටහනක් ඒ ජීවිත මත සලකුණු වුවද කවදාවත් හදවතින් හදවත නොගැලවෙන බැඳීමක ඒ තාත්තාත් දුවත් බැඳෙනවා. ඔවුන් විශ්වාස කරන ධර්මය අනුව ඒ තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. ඒත් ආදරය හමුවේ දෙවියන් වහන්සේ දෙන ඇතැම් විනිශ්චයන් අභිබවා සංසාර ස්නේහයන් ජීවිතය මත තබන මුද්‍රා කවර දෛවයක්දැයි යන්න වරෙක උත්තරයක් නැති ප්‍රශ්නයක්. 

 ඔවුන් සමුගැනීමට පෙර ඇයව ඔහුගෙන් වෙන් කරන්න ඔහු ඇයව නේවාසික පාසලකට කැටුව යනවා... ජීවිතයේ මුල්ම වතාවට ඇය ඉස්කෝලෙකට යන්නෙ එදා... ඒ අත්දැකීම හරි නැවුම් ඇගේ පුංචි සිතට... ඇය හිතන්නේ ඇය සමඟ ඇගේ තාත්තාත් ඉන්නවා කියන එක. තනි නොවුණු සිතකින් අයිලා නම් පුංචි සමනලිය ඒ සතුට හිත පුරා විඳගන්නෙ ඒ නිසා... ඔහු සෙමෙන් ඇයට නොදැනෙන්න ඒ බිමෙන් නික්මී තත්ත්පරයක් වත් ගතවෙන්නෙ නෑ... ඒ බැඳීම කොතෙක්ද යත් ඇය තාත්තා තාත්තා යැයි හඬමින් ඔහු ගිය මඟ දිගේ දිව යනවා... ඒ තාත්තාට ඒ දුවත් ඒ දුවට තාත්තාත් නැති ජීවිතයක් සිතාගන්න බැරි බව ඔහු ජීවිතයේ පළමු වතාවට තේරුම් ගන්නෙ එදා.

තවත් දවසක ඔහු අයිලා නිදිකරවා සෙමෙන් ඇගෙන් වෙන් වී තමන්ගෙ ඇඳට යනවා... ඇය නිදියන්නේ තාත්තාගේ පපුවේ උණුසුමට තුරුල් වී... ඔහු ඇයව ඝනකම් පොරෝනයකින් උණුසුම් කර ඇය මඟහැර ගියත් පපුවේ උණුහුම අත්හැරි ඊළඟ මොහොතේ ඇය ඇස් හරිනවා... තාත්තා තාත්තා කියමින් ඔහුගේ ළඟට යන ඇය ඔහුගේ හද මඬලේ උණුසුමට ගුලි ගැසී සනීපයෙන් ඇස් වහන්නෙ ඉන් එහා ලෝකයක් තාත්තෙ මට නෑ කියන නිර්වාචික හැඟීම දහස් වරක් දනවමින්.

එහෙත් වේදනාකාරී වෙන්වීමකට අවසානයේ අවනත වෙන්න ඒ හමුදා නිලධාරියාට සිදු වෙනවා. හමුදා හදවත දරාගත් කඳුළක් සහ පුංචි අයිලා දරා නොගත් කඳුළක් තුළ ඒ වෙන්වීමේ මතකය ජීවිතයට එකතු වෙනවා.

කාලය ඔවුන්ගේ ජීවිතවල බොහෝ දේවල් වෙනස් කරනවා, එක් දෙයක් හැර... ඔව්  ඔවුනොවුන් කෙරේ ඇති බැඳීම සහ මතකය හැර සියල්ල කාලය විසින් වෙනස් කරනවා. තරුණ හමුදා නිලධාරියා විවාහ වී දියණියකගේ පියෙක් බවට පත් වෙනවා... ඒත් අයිලා වෙනුවෙන් හදවතේ තිබුණු ඉඩ කවදාවත් කාටවත් යළි තිළිණ කරන්න ඔහුට බෑ. යුද්ධය නිමාවී ඔහු වියපත් වූ පසු ඔහු නැවත අයිලා මේ ලෝකයේ කොතැනකද කියා සොයනවා... මාධ්‍ය ඔහුට අයිලා සොයා දෙන්න අවසානයේ ඔහුගේ උදව්වට එනවා.

ඉතාමත් කුතුහලය දනවන ඉතා සංවේදී සිදුවීම් දාමයක් අවසානයේ ඔහුට අයිලා මුණගැසෙනවා. ඒ මොහොත ප්‍රේක්ෂකයා හඬන මොහොතක්. ඔව් ඒ තාත්තාත් දුවත් සමඟ සහකම්පනය අංශුමාත්‍රයක් හෝ හදවතේ ඇති හැම ප්‍රේක්ෂකයෙක්ම හඬන මොහොතක්. 

 ඇත්තටම සමුගන්න හැම කෙනෙක්ම අපෙන් සමුගත්තත් සමුනොගෙන ජීවිතයේ රැඳී ඉන්න තැන් තියෙනවා... දැනී නොදැනී අපේ හුස්ම එක්කම හුස්ම ගන්න තැන් තියෙනවා... තාත්තා කෙනෙක්ගේ ආදරය දියණියකගේ ජීවිතයට නිල් මැණිකක් ලෙස දෙන ආලෝකය වටිනාකම කොහොමද මෙතෙකැයි නිර්වචනය කරන්නෙ. 

මනෝ විද්‍යාත්මකව මනෝ විශ්ලේෂණවාදී ප්‍රවේශයකින් මේ සිනමා රෑපකාරකය විචාරද්දී අපට පැහැදිලි වන ප්‍රධාන කාරණයක් ලෙස දක්වන්න පුළුවන් වෙන්නෙ කුඩා කාලයේ දෙමාපියන්ගෙන් සහ ආදරණීයන්ගෙන් වෙන්වීම දරුවෙකුට කෙසේ බලපාන්නේද යන්න. ආදරය, සෙනෙහස, රුකවරණය කියන්නෙ කුඩා දරුවන්ට පමණක් නොව සතා සීපාවුන්ට පවා අතිශය අවශ්‍ය, අතිශය දැනෙන දෙයක්. ඒ වෙන්වීමක් දරාගැනීමද අතිශය අපහසු දෙයක්. 

සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පෙන්වා දී ඇති ආකාරයට වෙන්වීමක් අවරෝධනය වූ පසු අවිඥානිකව ක්‍රියාත්මක වෙනවා. වෙන්වීම දරුවෙකුට අමිහිරි අත්දැකීමක්. වෙන්වීමේ කාංසාව ඇති කරන්නටත් හේතුවක් විය හැකියි. ළමා කාලය තුළ මෙම වෙන්වීමේ කාංසා අක්‍රමතාව මතුවීම වැඩිහිටි වියේදී විශාල මානසික අවපීඩනයට හේතු විය හැකියි. මෙය අයිලාත් මානසිකව අතිවිඳි තත්ත්වයක්. 

මනෝ විශ්ලේෂණ න්‍යාය අනුව ෆ්‍රොයිඩ් මව හෝ පියා ආරක්ෂා කිරීමෙන් වෙන්වීමේ මූලික අත්දැකීම කාංසාවේ මූලාකෘතිය ලෙස සලකනවා. ෆ්‍රොයිඩ්ගේ ඊඩිපස් සංකීර්ණය අනුව විමසන විට පිරිමි දරුවෙක් සහජයෙන්ම උත්සාහ කරන්නෙ මවට ආදරය කරන්න. මවව ආරක්ෂා කරන්න. මවට අයත් වෙන්න. පිරිමි දරුවෙකුට මවගෙන් ඉවත්වීම කාංසා ජනක අත්දැකීමක්. 

ෆ්‍රොයිඩ්ට අනුව ගැහැනු දරුවෙක් සහජයෙන්ම උත්සාහ කරන්නෙ පියාට ආදරය කරන්න. පියාව ආරක්ෂා කරන්න. පියාට අයත් වෙන්න. ගැහැනු දරුවෙකුට පියාගෙන් ඉවත්වීම අතිශය කාංසා ජනක අත්දැකීමක්. අයිලා දෙවරක් මේ තත්ත්වය අත්විඳිනවා. එවිට ඇයගේ මානසිකත්වය කෙබඳුදැයි සිතාගත හැකිද? පියාගේ ආදරය, සෙනෙහස අහිමි වූ ඇයට දෙවනුව පියා මෙන් වූ හමුදා සෙබළාගේ ආදරය, සෙනෙහසද අහිමි වෙනවා. 

වෙන්වීමේ කාංසාවේ ගැටලුව පිළිබඳ අදහස් දක්වන ජෝන් බෝල්බි පුද්ගලයෙකුට සිය මව, පියා හෝ ප්‍රාථමික භාරකරුට දරුවාගේ බැඳීම සහජයෙන්ම ඇති බව අවධාරණය කරනවා. මවගෙන් වෙන් වූ ළදරුවන්ගේ ප්‍රතික්‍රියා අදියර තුනකින් පරිණාමය වන බව ජෝන් බෝල්බි විශේෂයෙන් පෙන්වා දීලා තියෙනවා එනම්, 1. විරෝධතා අවධිය (වැඩිහිටි කාංසාවේ මූලාකෘතිය), 2. බලාපොරොත්තු සුන්වීමේ අවධිය (මානසික අවපීඩනයේ මූලාකෘතිය) 3. වෙන්වීමේ අවධිය වශයෙන්. වෙන්වීමේ අවධිය මගින් මානසික අවපීඩනයට ගොදුරුවීමේ අවදානම වර්ධනය කරන බව ජෝන් බෝල්බි පෙන්වා දෙනවා.

එහෙත් වෙන්වීමේ කාංසාවට වඩා යමක් අයිලා චිත්‍රපටය තුළ දකින්නට ලැබෙනවා. ඒ තමා ආදරය සැබෑ ලෙසම දැනෙන තැන සංවේදීයි කියන එක. පළමුව අයිලා සිය දෙමාපියන්ගෙන් වෙන් වෙනවා. වෙන්වීමේ කාංසාව අතිශය රුදුරු ලෙස ඇය අත්විඳිනවා. දෙවනුව හමුදා සෙබළාගේ රුකවරණයෙන් වෙන් වෙන්න ඇයට සිදුවෙනවා. වෙන්වීම හමුදා සෙබළාටත් දැනෙනවා. ඔහු අයිලාව නැවත සොයාගෙන එනවා. වදනා මවකට වඩා හදනා කෙනෙකු අත්විඳන ආදරය, සෙනෙහස, බැඳීම මේ තුළින් ඉස්මතු කෙරෙනවා.

සැබැවින්ම කවදා කොතැනකදී කෙලෙස ඇතිවුවත් ආදරය යනු ආදරයමයි. ප්‍රේමය යනු ප්‍රේමයමයි. ආදරය යනු තුලාවක ලා මනින්නට හැකි මනෝභාවයක් නොවේ. එහි ස්වරෑපය මේ යැයි නිශ්චිතාර්ථයකින් විවරණය කළ හැකි මනෝභාවයක් ද නොවේ. ලෙයින් නිෂ්පන්න බන්ධනයක සේම සංසාර මුද්‍රාවෙන් මුද්‍රාවට භව සුවිසැරිය පුරා සොයා එන ඇතැම් බන්ධන තුළ ද සම්මිශ්‍රණය වී ඇත්තේ ආදරයේත් ප්‍රේමයේත් පාරිශ්‍රද්ධවූද අකලංකවූද විසල් මාත්‍ර මිස අන් කවරක්ද? මිනිස් ඇසින් එහාට දෙවියන්ගේ ඇසින් ලෝකය, ආදරය සහ මනුෂ්‍යත්වය දකින්නට ඔබට හැකි වූ දිනක මේ මිහි මඬල ආදරයෙන් සහ මනුෂ්‍යත්වයෙන් අපිරිමිතව සුවපත් වූ තෝතැන්නකි... අයිලා කියා දෙන්නේ යථාර්ථයෙන් ඔබ්බට විහිද ගිය චමත්කාර වූ අනන්තයක හිඳ එකී වූ සත්‍යයේ සොඳුරු කතාන්දරයයි.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00