2022 නොවැම්බර් 06 වන ඉරිදා

සතුන්ට ආදරය කරන්නේ රත්තරන් හදවත් තියෙන මිනිස්සු

 2022 නොවැම්බර් 06 වන ඉරිදා, පෙ.ව. 06:00 185

''චූටි මැණික, මගෙ වස්තුව, මගෙ රත්තරන් කොල්ලා, මගේ රොස්කො බබා, රොස්කො බේබි so sweet...'' ආදරය හදවතේ සීමා බිඳගෙන පිටාර ගලන මොහොතක ආදරය කරන කෙනෙක් වෙනුවෙන් මුවගින් ගලාගෙන එන්නේ ආදරණීයම ආමන්ත්‍රණයක්. අර විදිහට බලු පැටියෙක්ට ඉතාමත් සංවේදීව ආමන්ත්‍රණය කළ ඇය එලෙස ආමන්ත්‍රණය කිරීම දක්වා කතාවත් ඒ ආමන්ත්‍රණය වගේම සංවේදීයි... හෙට දවසේ මරණය නියම වෙන්නට තිබූ රොස්කෝ කියන බලු පැටියාගේ ජීවිතය ඊට පෙර දින මරණයෙන් බේරාගෙන කුවේට් සිට ලංකාවට ගෙන ඒම දක්වා රොස්කෝ මරණයෙන් මුදාගන්නට ඈ ගත් වෙහෙස අපමණයි. ඇය ආචාර්ය විශාඛා සූරියබණ්ඩාරයි.

මනුෂ්‍යත්වය නිර්මාණය වන්නේ සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයන්ගෙන් එහා ගිය ඉමකදී යළිදු කිසිවක්ම නොඉල්ලමින් කරන පරිත්‍යාග සහ කැපකිරීම් තුළයි. රොස්කෝගේ ජීවිතය මරණයෙන් මුදාගන්නට ඈ දැරෑ අප්‍රමාණ මහන්සිය සුවිශේෂී වෙන්නේත් ඒ කතාන්දරය ගැඹුරේ නිදන්ව ඇත්තේ එවන් මානුෂීය කතාවක් නිසා.

රොස්කෝ කියන්නෙ කුවේට් රටේ සිටි වීදි සුනඛයෙක්. පුංචි කාලෙ කාන්තාරයක සීතලෙන් ගැහි ගැහී ඉද්දි තක්ෂි කියන ශ්‍රී ලාංකික යුවතිය මේ සුනඛ පැටියාව තමන් වාසය කළ මහල් නිවාසයට රැගෙන ගොස් දරුවෙකුට දක්වන සෙනෙහසක් ලබාදෙමින් ඇති දැඩි කරනවා. එහෙත් ඇය දන්නෙ නෑ කුවේට් නීතිය අනුව එරට පුරවැසියන් නොවන අයට සුරතල් සතුන් ඇතිදැඩි කළ නොහැකි බව.

මහල් නිවාසයේ හිමිකරුට මේ පිළිබඳව ලැබෙන පැමිණිල්ලේ අවසන් ප්‍රතිඵලය වුණේ දවස් 20ක් ඇතුළත බලු පැටියා මුදාහරින ලෙසයි... එරට නීතිය අනුව කරන්නේ ඒ සුනඛයා ඉන්පසු ඝාතනය කිරීමයි. රොස්කෝට අත් වෙන්නට යන ඉරණම ගැන වඩාත් සංවේදී වන තක්ෂි මුහුණු පොතේ සටහනක් තියනවා ''මගේ දරුවව බේරලා දෙන්න කියලා...''

ආචාර්ය විශාඛා සූරියබණ්ඩාර ඊට මැදිහත් වෙන්නෙ ඒ අනුව. ඒ ගැන ඇය හුඟාක් සංවේදීව මාධ්‍ය හමුවේ කතාකර තිබුණේ මෙන්න මෙහෙම. ''මට රොස්කෝව මගේ දරුවෙක් හා සමානව දැනුණා. මම නිහඬවම සතුන් වෙනුවෙන් බොහෝ දේවල් කරන කෙනෙක්. මම රොස්කෝව බේරගන්න හදද්දී සමහරු මේක වංචාවක් විදිහට දැක්කා. ඒත් කැලිෆෝනියාවේ ඉන්න වෛද්‍යවරියක් ඇතුළු පිරිසක් අවංකවම මට උදව් කළා. සමහරු රොස්කෝගේ ජීවිතය බේරාගන්න තමන්ට පුළුවන් විදිහට රුපියල් සීය දෙසීය පවා දුන්නා. ග්‍රීක කියමනක් තියෙනවා ගයිකා කියලා... ඉන් කියැවෙන්නේ හැම කෙනෙකුටම ජීවත් වීමේ අයිතිය තියෙනවා කියන එක. මිනිහෙකුට වගේම සතෙකුට වුණත්. අවසානයේ බොහෝ අයගේ උදව්වෙන් ලක්ෂ දහතුන හමාරක් පමණ වියදම් කර රොස්කෝ බේරාගෙන මම ලංකාවට ගෙනාවා. කුවේටයේ ශ්‍රී ලංකා තානාපති, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ එරට කළමනාකරු මේ හුඟාක් අය මට රොස්කෝ වෙනුවෙන් උදව් කළා... රොස්කෝගේ හාම්පුතා කවදා හරි ලංකාවට ඇවිත් රොස්කෝ ගෙනියනකම් මම එයා බලාගන්නවා.

මනුෂ්‍යත්වයේ නාමයෙන් ඇය රොස්කෝට ජීවිතය දී ඇත්තේ අයිතිය පිළිබඳව හැඟීමකින් නොවේ. අයිතියට හුදෙක් ආදරය කරන්නට තතනන සුවහසක් මිනිසුන් අතර අයිතියට නොව මනුෂ්‍යත්වයේ නමින් ඉපදෙන ආදරයට ආදරය කළ යුතු වගට ඇය නිහඬවම තවත් කතාවක් කියා දෙයි.

බල්ලෙක් සුරතලයට ඇති කරද්දී ඇතිවෙන බැඳීම මමත් අත්දැකීමෙන් විඳින දෙයක්... පිඟානට බත් ටික දැම්මම මම කවනකම් මගේ සුරතල් බල්ලා කෑම කන්නෙ නෑ. මම ගෙදර නැති දවසට කන්නෙ නෑ. විශ්ව විද්‍යාලයට හෝ වෙනත් කොහේ හෝ මා ගිය පසු මා එනතුරු බලා සිටින පුරුද්දක් මගේ බලු සුරතලා වන රෙක්ස්ට තියෙනවා. මම මාර්ගගත දේශන කරද්දී, මම මගේ කාමරයේ ඉද්දි වුණත් මගේ අසලින්ම ගැවසෙන එක රෙක්ස්ගේ පුරුද්දක්... මේ සියලු නිර්වාචික සන්නිවේදනය තුළින් ධ්වනිත වෙන්නේ ආදරය සහ බැඳීමයි... ආචාර්ය විශාඛා සූරියබණ්ඩාර කියන පරිදිම මට රෙක්ස් කෙරේ දැනෙන්නෙත් දරුවෙක් කෙරේ ඇතිවෙන ආදරය හා බැඳීමමයි. සුරතල් සතෙක් ඇති කරන කෙනෙක් තමයි මේ බැඳීම ඇත්තටම දන්නෙ.

ඇත්තටම සත්ත්ව හිංසනය ගැන අප්‍රමාණව කතාකරන ලෝකයකමයි අපි සත්තුන්ට ආදරය කරන මිනිසුන් ගැන කතා කරන්නෙත්. සැබැවින්ම මනුෂ්‍යත්වය මනෝ විද්‍යාත්මකව අප විග්‍රහ කරන්නේ කෙසේද? රොස්කෝගේ ජීවිතයේ නව ඇරඹුමේ සිට අපි ඒ ගැන කතා කරමු.

මනුෂ්‍යත්වය යන වචනය ලතින් හියුමනිටාස් යන වචනයෙන් බිහිවී තිබෙනවා. ''මිනිස් ස්වභාවය, කරුණාව'' යන්නයි. මනුෂ්‍යත්වයට සියලුම මිනිසුන් ඇතුළත් වෙනවා. නමුත් එය මිනිසුන්ට බොහෝවිට එකිනෙකා කෙරෙහි ඇති කාරුණික හැඟීම්ද සඳහන් කළ හැකියි. මූලික මානව ගුණාංගවල පදනම වන ගුණාංගවලට අවංකකම, අවංකභාවය, ධෛර්යය, ස්වයං දැනුවත්භාවය ඇතුළත් වෙනවා. මෙම ගුණාංගයන් මිනිසුන් ලෙස අප කවුරුන්ද යන්න නිර්වචනය කරනවා.

මනුෂ්‍යත්වය කියන්නෙ මනුෂ්‍ය තත්ත්වයෙන් ව්‍යුත්පන්න වූ පරාර්ථකාමිත්වයේ මූලික ආචාර ධර්ම සමඟ සම්බන්ධ වූ ගුණධර්මයක්. එය සෑමවිටම එකිනෙකා කෙරෙහි මානව ආදරය සහ දයාව සංකේතවත් කරනවා. මනුෂ්‍යත්වය හුදු යුක්තියෙන් වෙනස් වන්නේ යුක්තිය තුළ ඇති සාධාරණත්වයට වඩා මනුෂ්‍යත්වයට ඇතුළත් පුද්ගලයන් කෙරෙහි පරාර්ථකාමී මට්ටමක් පවතින බැවින්.

මනෝවිද්‍යාත්මකව මනුෂ්‍යත්වය කියන්නෙ ආදරය කිරීමට සහ අනුකම්පා කිරීමට ඇති හැකියාව, නිර්මාණශීලී වීම මෙන්ම අප මිනිසුන් බවට පත්කරන ගුණාංග සඳහාද මනුෂ්‍යත්වය කියන වචනය භාවිතා කරන්නට පුළුවන්. මනුෂ්‍යත්වය කියන්නෙ හැකි සෑමවිටම අන් අයට උපකාර කිරීම සහ සැලකීමයි. මනුෂ්‍යත්වය කියන්නෙ අන්‍යයන්ට එම උපකාරය අවශ්‍ය අවස්ථාවන්හිදී උපකාර කිරීමයි, මනුෂ්‍යත්වය යනු අන්‍යයන්ට ඔබගේ උපකාර අවශ්‍ය වූ විට ඔබගේ ආත්මාර්ථකාමී අවශ්‍යතා අමතක කිරීමයි.

මනුෂ්‍යත්වය තිබෙන කෙනෙක්ට පමණයි මනුෂ්‍යත්වය පතුරවන්නට පුළුවන් වන්නෙ. අප සමාජයේ විවිධ තරාතිරම්වල මිනිසුන් ජීවත් වෙනවා. ඇතැමෙක්ට උපරිමයෙන් බලය තිබෙනවා. ඇතැමෙක්ට උපරිමයෙන් ධනය තිබෙනවා. ඇතැමෙක්ට උපරිමයෙන් සමාජ තත්ත්වයන් තිබෙනවා. එහෙත් අනෙකා කෙරෙහි මනුෂ්‍යත්වය පතුරවන්නෙ සමාජයේ කීයෙන් කීදෙනාද? ධනයෙන් පොහොසත් වූ පමණින් මිනිසෙක් මනුෂ්‍යයෙක් කියලා කියන්නට බැහැ. තිරිසනුන්ට වඩා මනසින් උසස් අයෙක් සැබෑ ලෙසම මනුෂ්‍යයෙක් වන්නේ ගුණධර්මවලින් පොහොසත් වූ විටයි.

අන්ත අසරණ මිනිසුන් සමාජයේ ජීවත් වෙනවා. ධනයෙන් අතිශය පොහොසත් ඇතැම් මිනිසුන් අන්ත අසරණ මිනිසුන්ට මනුෂ්‍යත්වය පතුරන අවස්ථා දුර්ලභයි. රුපියල් අනූ නව දහස් නවසිය අනූ නවයක් තිබෙන පුද්ගලයා උත්සාහ කරන්නෙ තවත් රුපියලක් එකතු කරන්නට පමණයි. අනෙකාට උදවු කරමින් මනුෂ්‍යත්වය පතුරවන්නට යොමුවන අවස්ථා අඩුයි. මෙය සමාජයේ සෑම කෙනෙකුටම ආදේශ කළ නොහැකියි. අප සමාජයේ අනුන්ට උපකාර කරන මිනිසුන් අනන්තවත් සිටිනවා. මනුෂ්‍යත්වය කියන්නෙ අනුන් කෙරෙහි සංවේදී වීමේ ඒ හැකියාව.

සමාජයේ ජීවත්වන නැතිබැරි සිසු සිසුවියන්ට, වයෝවෘද්ධ පුද්ගලයින්ට, අසරණ රෝගීන්ට කරුණාවෙන්, ආදරයෙන්, මෛත්‍රියෙන් උපකාර කළ හැකිනම් ඒක තමා මනුෂ්‍යත්වය.

මිනිසුන්ට සතුන් කෙරේ මනුෂ්‍යත්වය පැතිරවිය හැක්කේ කෙසේද? 

මිනිසාට සතුන් සඳහා හොඳ දේවල් කළ හැකියි. වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයන් වැඩි වැඩියෙන් බෝ කිරීමෙන් සහ ඔවුන්ගේ පරිසරය සුරුකීමෙන් ආරක්ෂා කිරීමට උදව් කළ හැකියි. රෝගී සතුන් නිරෝගී කිරීම සහ තවදුරටත් වනයේ ජීවත්විය නොහැකි සතුන් රැකබලා ගැනීම සඳහා උදව් කළ හැකියි. අසරණ සුනඛයින් රුකබලාගන්නා ආයතන ලංකාවෙ පිහිටුවා තිබෙනවා. ඒව සිදු කරන්නෙ මනුෂ්‍යත්වය උපරිමයෙන් සතුන් කෙරෙහිද පතුරවන පුද්ගලයින් විසින්. සතුන් කියන්නෙ ආදරණීය අසරණ ජීවීන් කොට්ඨාසයක්. සතුන්ට ආදරය දක්වන තරමට සොබාදහම පවා ඔබට ආශීර්වාද කරාවි.