2022 ඔක්තෝබර් 09 වන ඉරිදා

ඔබ මියගියත් ඔබ ලෝකය තුළ තබා යන පෞරුෂය අනුව ලෝකයා ඔබ පිළිබඳ කතා කරාවි

 2022 ඔක්තෝබර් 09 වන ඉරිදා, පෙ.ව. 08:00 128

මුණිවර දැහැනකින් දැහැන්ගත වී කවි, ගී පොත් ලියූ මහගම සේකරයන් තම සාහිත්‍යමය ගමන් මඟ ඇරඹුවේ වයස අවුරුදු විස්සේදී, සර් ආතර් කොනන් ඩොයිල් ගේ “The white company” නවකතාව ධවල සේනාංකය නමින් පරිවර්තනය කරමින්.

මනෝ මන්දිර, බෝඩිම, සක්වාලිහිණි, තුන්මං හන්දිය, නොමියෙමි, ප්‍රබුද්ධ ආදී නිර්මාණ දියවරක් අද දක්වා සේකර කියවන සහෘද පරම්පරාවකට දායාද කළ ඒ යුග පුරුෂයා කවිය, ගීතය, නවකතාව, චිත්‍රය, සිනමාව එක්ක හුස්මක් ගත් නිර්මාණශීලි විද්වතෙක්.... ගුරු භූමිකාවෙන් රජයේ ලලිත කලා විදුහලේ විදුහල්පති ධුරය දක්වා රැකියාවේ වගකීම් දෙවුර දැරූ සේකරගේ ජීවන ගමන්මඟ 1929 අප්‍රේල් 7 වැනිදා සිට 1976 ජනවාරි 14 වැනිදා දක්වා අවුරුදු 47ක් ගෙවී අවසන නිමා වූවා..... එහෙත් භෞතිකව මියගිය සේකර අදහන රසික පරපුරක් අදටත් ඉන්නවා...

ඒ සේකර රටට, දැයට, කලාවට සාහිත්‍යයට ඉතිරි කර ගිය පූජනීය නිර්මාණ නිසා. ගම්පහ රෝහලේ ගිලන් සයනයක් මත හිඳ සේකර “නොමියෙමි” ලීවේ තම ප්‍රථම හෘදයාබාධයට මුහුණදුන් අත්දැකීම විඳිමින්. 1975 දී සේකර ප්‍රබුද්ධ ලියන්න පටන් ගනිද්දී 77 ආර්ථික පරිවර්තනයේ සෙවණැල්ලක්වත් මේ බිමේ පතිත වී තිබුණේ නැහැ... එහෙත් කාල යාත්‍රිකයෙක් වගේ ඔහුටම සුවිශේෂී ඉසිවර නුවණකින් ඒ සමාජ පරිවර්තනය ප්‍රබුද්ධ තුළින් ඔහු විවරණය කළ හැටි ඇත්තටම පුදුමයි. වර්ඩ්ස් වර්ත්, ලෝරන්ස්, ෂේක්ස්පියර්, ෂෙලී, එලියට්, ඛලීල් ජිබ්රාන්, නිරුදා, පුෂ්කීන්, තාගෝර්, සරෝජිනී නායිදු දක්වා විශිෂ්ට කවින්ගේ කවි කියැවීම්වලින් තම ගවේෂණාත්මක කවි මඟ සුපහන්ව සුපෝෂණය කරගත් සේකර අවුරුදු 47ක ජීවන සුවිසැරිය තුළ පරම්පරා ගණනක් ජීවත් වූ මිනිසෙකු සෙයින් දායාද කළ නිර්මාණ සමුදාය අසමානයි...

අපි මේ ලෝකයට එන්නෙ නැවත හැරී ගොස් යළි නැවත පැමිණෙන්න. අනන්ත සංසාර ගමන් මගේ ඇරඹුම හෝ අවසානය නොදැන මේ යන ගමනේ එක් භවයක් තුළ නැවතුම් කාලය අපි කවුරුත් නිශ්චිතව දන්නෙ නැහැ. එහෙත් භෞතිකව ජීවිතය හැර ගියත් ලෝකයට බොහෝ දේ ඉතිරි කර ගිය මිනිසුන් පරම්පරාවෙන් පරම්පරාවට නාමයක් වී ජීවත් වෙනවා... සේකර අවුරුදු 47 කින් ජීවිතය ගෙවා අවසන් කළත් අදටත් කවියට, ගීතයට, සාහිත්‍යයට, කලාවට පෙම් බඳින මිනිස්සුන්ගේ පපුව ඇතුළේ හුස්ම ගන්නෙ අන්න ඒ යථාර්ථය තුළ. එවැනි නොමියෙන මිනිසුන් අතර සේකර ගැන මතකය මම සනිටුහන් කළේ සේකරට මගේ ආදරයත් අංශුමාත්‍ර නොවන නිසාමයි.

දර්ශන් ධර්මරාජ් කියන මහා රංගධරයා ජීවන ගමනින් සමු ගත්තෙත් වයස අවුරුදු 41ක් තරම් තරුණ වයසෙදි. ගසන ඇස් පිහාටුවකින් පවා තම රංග ප්‍රතිභාව නිරායාසයෙන් මුදාහල ඔහු සිනමාව තුළදී චරිතයට ආත්මීයව ආවේශ වූවා මිස ඒ චරිතය රඟපාන හුදු නළුවෙක් පමණක් වුණේ නෑ. සැබැවින්ම අද්‍යතන ශ්‍රී ලාංකික සිනමාව තුළ රජෙකු වෙසින් පෙළහර පෑ එකම සහ ප්‍රබල දමිළ රංග සලකුණ දර්ශන් ධර්මරාජ්. දර්ශන්ගේ සමීපතම මිතුරියක වූ නිරංජනී ශන්මුගරාජා හඬමින් කියූ එක් දෙයක් හරි සංවේදීයි. ඔහු අන්තිමට කීවා නිරා අපිට ආදරේ කළේ සිංහල මිනිස්සු කියලා. ඒ වෙලාවෙ මාගේ මතකයට ආ තවත් කරුණක් සඳහන් කළ යුතුයි. එය ඉෂාක් බෙග් විසින් සිදුකළ ප්‍රකාශයක්. ඒ තමා මොහිදීන් බෙග් මියයන්නට පෙර කළ ප්‍රකාශයක්. “පුතේ අන්තිම සිංහලයා ඉන්නකම් උඹලව බඩගින්නෙ තියන එකක් නැහැ” කියපු ප්‍රකාශය.

දර්ශන් සැබැවින්ම සිංහල සිනමාවේ තවත් එක් අසමාන පෞරුෂයක්. පුරවන්න අසීරු හිස්තැනක් ඉතුරු කර ඔහු නික්ම ගියත් සිංහල සිනමාවේ අවසන් පරිච්ඡේදය ලියැවෙන තාක් ඒ සුහදශීලී, ආදරණීය කලාවේදියාගේ නම ඉතුරු වී තියෙයි. පරම්පරාවෙන් පරම්පරාවට ලෝකයම ආදරය කරන මිනිසෙකු ලෙසින් ජීවත්වීම සරල කාරණයක් නෙවෙයි.

යමෙක් ලෝකයට ආදරය කළ, ලෝකයට තිළිණ කළ යමක් වෙත්ද එහි වපසරිය එය තීරණය කරන බව නොරහසක්. අවුරුදු 2600 කට පෙර පිරිනිවන් පා වදාළ බුදුන් වහන්සේගේ නාමයට, උන් වහන්සේගේ පිළිරූවලට, උන් වහන්සේගේ සිරිපතුලට අදටත් එක් දිනකදී එක් මොහොතකදී කෝටි ගණනක් මිනිසුන් නමස්කාර පූර්ව භක්තියෙන් වන්දනා කරන්නෙ ඇයි? පිරිනිවන් පා අවුරුදු 2600ක් ගිය පසුවත් උන්වහන්සේ තරම් ගිලන්පස සහ දානයෙන් පිදුම් ලබන්නෙකු මෙදියත නැත. හේතුව ලෝකයක් සැනහූ, ලෝකයකට නිවෙන්නට මඟ හසර වදාළ උත්තරීතර දහමක් වදාළ ශාස්ත_වරයා උන්වහන්සේ වන නිසා. බුදුරජාණන් වහන්සේ කියන්නෙ පෘථජ්ජන ලෝකයේ මිනිසුන්ට සමාන කළ නොහැකි අසම සම චරිතයක්.

අද ජංගම දුරකථනයෙන්, පරිගණකයෙන් සහ අන්තර්ජාලයෙන් ලෝකයම දකින්නට කියවන්නට උත්සාහ කරන බහුතරයක් ළාමක නිද්‍රාශීලී චින්තනයකින් යුතු පරපුරකට මෙවැනි මානව චරිත අධ්‍යනයෙන් ඉගෙනගත හැකි පාඩම් බොහෝ තියෙනවා. ඇත්තටම වැදගත් වන්නේ ඔබ ගෙවා අවසන් කරන ආයුෂ ඉලක්කම්වලින් කොච්චරද කියන එක නෙවෙයි. ඔබ රැඳෙන කාලය තුළ ඔබ රට, දැය, ලෝකය වෙනුවෙන් කළ මෙහෙවර කොතෙක්ද කියන කාරණය. ඔබ යම් දිනෙක මියගියත් ඔබ පිළිබඳ ලෝකයා කතා කරන්නෙ ඔබ ලෝකය වෙනුවෙන් කරන මෙහෙවර පමණයි. ඔබගේ කය මියගියත් ඔබගේ නාමය ලෝකය තුළ පවතින්නෙ ඔබ ලෝකය වෙනුවෙන් කරන මෙහෙවර අනුව පමණයි.

එවැනි ප්‍රබෝධමත් පොහොසත් පෞරුෂයක් ගොඩ නගාගන්න ඇයි අපිට බැරි... බැරි නැහැ සෑම පුද්ගලයෙකුටම එය කළ හැකියි. මිනිසා කියන්නෙ විවිධ කුසලතාවලින් පරිපූර්ණ ඥානයෙන් උසස් ජීවියෙක් තම කුසලතා භාවිත කරන ආකාරය අනුව, තම ඥානය භාවිත කරන ආකාරය අනුව තමා තමාගේ පෞරුෂයක් ගොඩනැගෙන්නෙ. එහෙම පෞරුෂයක් ගොඩනගා ගන්නට අතිශය වැදගත් කරුණක් වශයෙන් පෙන්වා දෙන්නට පුළුවන් ලෝකයේ ශ්‍රේෂ්ඨ පෞරුෂ පිළිබඳ චරිත කතා කියවීම සහ අධ්‍යයනය කිරීම. යමෙක් එහෙම කරන්නේ නම් අනිවාර්යයෙන් ඔහුටම ආවේණික පෞරුෂයක් ගොඩනගා ගන්නට එහි ආභාසය ලැබෙනවා.

තමාට ආවේණික ශ්‍රේෂ්ඨ පෞරුෂයක් ගොඩනගා ගැනීමට තමාගේ ගතිලක්ෂණ ඉස්මතු කරගැනීම වැදගත් වෙනවා. ගතිලක්ෂණ කියන්නෙ පුද්ගලයෙකුගේ චරිත ලක්ෂණ, චර්යාවන් සහ සවිඥානික ප්‍රේරණ. ඇතැම් පුද්ගලයින්ට තියෙනවා ප්‍රමුඛ ගතිලක්ෂණ. ඒ කියන්නෙ පුද්ගලයෙකු තම ජීවිතයම සංවිධානය කරගනු ලබන බෙහෙවින්ම සාමාන්‍යකරණය කරගත් ප්‍රධාන චරිත ලක්ෂණ. මෙවන් ගතිලක්ෂණ පුද්ගලයෙකුගේ ජීවිතයේ සියල්ලට ඉහළින් කැපී‌ පෙනෙනවා. මෙවන් ගතිලක්ෂණ සහිත පුද්ගලයින් එවන් ගතිලක්ෂණ නිසාම විශේෂයෙන් ලෝකය තුළ ප්‍රසිද්ධ වෙනවා. උදාහරණ වශයෙන් ගතහොත් මාටින් ලූතර් කිං, මහත්මා ගාන්ධි වැනි චරිත ලෝකයේ ඉස්මතු වූයේ අහිංසාවාදය වැනි ගතිලක්ෂණ නිසා.

පුද්ගලයින් සතුව තවත් ගතිලක්ෂණ වර්ගයක් තියෙනවා. ඒවාට කියන්නෙ කේන්ද්‍රීය ගතිලක්ෂණ කියලා. මේවාට අයත් වන්නෙ පුද්ගලයකුගේ පෞරුෂය තුළින් ඉස්මතු වන සාමාන්‍ය ගතිලක්ෂණ. සාමාන්‍යයෙන් අප විසින් වෙනත් පුද්ගලයෙක් පිළිබඳ හඳුන්වා දීමෙදී භාවිත කරන්නෙ මෙවන් කේන්ද්‍රීය ගතිලක්ෂණ. උදාහරණ වශයෙන් ගතහොත් පුද්ගලයෙකුගේ සුවිශේෂී බුද්ධිමත් බව මෙන්ම අවංකකම, ගායන හැකියාව, සංගීතමය හැකියාව, චිත්‍ර ඇඳීමේ හැකියාව, රංගන හැකියාව වැනි කුසලතා සමඟ ඉස්මතු වන ගතිලක්ෂණත් මීට අයත් වෙනවා. පුද්ගලයකුගේ පෞරුෂය ලෝකය තුළ ඉස්මතු කරන්නට, හුවා දක්වන්නට මෙවන් ගතිලක්ෂණවලට පුළුවන්.

තවත් ගතිලක්ෂණ වර්ගයක් තියෙනවා. ඒවාට කියන්නෙ ද්විතීයික ගත්ලක්ෂණ කියලා. මෙවන් ගතිලක්ෂණ ඉස්මතු වන්නෙ සුවිශේෂී අවස්ථාවල නැතහොත් සුවිශේෂී පරිසරවල. යම්කිසි පුද්ගලයෙකුට තම පෞරුෂය ඉස්මතු කිරීමට අවශ්‍ය නම් තමා පිළිබඳව, ඒ කියන්නෙ ස්ව සංකල්පය පිළිබඳ සවිඥානක බව, දැනුවත් බව වැදගත් වෙනවා. තමා කවුද? තමාගේ සුවිශේෂී කුසලතා මොනවාද? යනුවෙන් පැහැදිලි, නිරවුල් අවබෝධයක් පුද්ගලයෙක් ඇතිකර ගන්නේ නම් අනිවාර්යයෙන්ම සුවිශේෂී පෞරුෂයක් ලෝකය තුළ ඉස්මතු කරන්ට පුළුවන්කම ලැබෙනවා. තමා යම් දවසක මේ ලෝකය හැරගියත් තමා ලෝකය තුළ ගොඩනගාගත්, ලෝකය තුළ ඉතිරි කළ පෞරුෂය නිසා ඔබ පිළිබඳව ලෝකයා කතා කරාවි. ඔබගේ නාමය ලෝකය තුළ රැඳේවි.