
''සමානාත්මතාවෙහිත් උපේක්ෂාවෙහිත් පිහිටුවාගත් සිත් ඇත්තෝ මේ ජීවිතයේදීම ඉපදීමත් මරණයත් ජයගත්තෝ වෙති.'' හින්දු ජන සම්භාවිත ග්‍රන්ථ රත්නය ලෙස සම්භාවනාවට පත් භගවත් ගීතාවේ එක් තැනක එසේ සඳහන් වෙනවා. සමානාත්මතාවය යන සංකල්පය ගැන සංකල්පීය වශයෙන් ලෝකය කොච්චර කතා කළත් ප්‍රායෝගිකව එය මේ ලෝකය පුරා විඳින්න ඇති අවකාශය හරි අඩුයි.
සියලු බෙදීම්හි න්‍යෂ්ටිය දක්වා බෙදෙන්නට උත්සාහ කරන මිනිසුන් බහුතරයකින් සමන්විත සමාජයකින් සමානාත්මතාවය සහ උපේක්ෂාව යන මානුෂික ගුණාංග අපේක්ෂාවක් බවට පත්කර ගැනීම බොහෝවිට යථාර්ථවාදී නොවුණත්, අද අපි කතා කරමු අනෙකා මත තම ආධිපත්‍ය පැතිර වීම වෙනුවට සියල්ල බැරිවුණත් බොහෝ දේවල් හෝ සොඳුරු ආධ්‍යාත්මික බෙදාහදා ගැනීම් බවට පත්කර ගන්නේ කොහොමද කියලා.
මිනිසුන් මිනිසුන් සමඟ ඇතිකරගන්නා බැඳීම් ආධ්‍යාත්මික සහ භෞතික කියලා දෙයාකාරයි. අතිධාවනකාරී පාරිභෝගිකවාදී සමාජ චින්තනයකට අවනත වීමේ ප්‍රවණතාව අද කොච්චරද කියනවා නම් මිනිසුන් තෘප්තියට පත්වීමේ වැඩි ඉඩහසරක් තියෙන්නේ භෞතික බැඳීම් තුළ. ඒවා හුඟාක් වෙලාවට පවතින්නෙත් ගනුදෙනු ස්වභාවයෙන්. එය කවදා හෝ කොතැනකදී හෝ සම්මුතියකින් විසම්මුතිකවම වුවත් අවසන් විය හැකි දෙයක්.
එහෙත් ආදරය සහ සංහිඳියාව තුළින් මතු වී ඇතිවන ආධ්‍යාත්මික බැඳීම් හරි ශක්තිමත්. ඊට අවබෝධයත් එක්වුණාම ඒ සම්බන්ධතා මත නිර්මාණය වෙන්නෙ නොබිඳී යන පැවැත්මක්. එහෙත් ඔබ තේරුම් ගන්න බැඳීමක් සහ ඇලීමක් කියන්නෙ දෙකක්. ඔබට ඇලීමකින් තොරව බැඳෙන්නට පුළුවන් නම්, අනෙකා යනු තමා නොවන බව මැනවින් තේරුම් ගත හැකි නම්, අනෙකා අනෙකාගෙ නිදහස තුළ උපරිමයෙන් රඳවා ඇලීම් තුළින් උපදින ''මගේ නිසා මා පරිදිම විය යුතුය'' ''මගේ සිතුවිලි අනුවම කියා කළ යුතුය'' වැනි ආධිපත්‍යමය සිතුවිලි වලින් තොරව අනෙකා කෙරේ ගැඹුරු ආධ්‍යාත්මික බැඳීමකින් බැඳෙන්නට හැකි නම් එතැන ඇලීම් ඔස්සේ උපදින හිරිහැරදායි හැඟීම් උපදින්නෙ නෑ.
ඇත්තටම දැඩි ඇලීමක් කියන්නෙ තමන්ට වගේම අනෙකාටත් පීඩනයක් බවට පත්විය හැකි හැඟීමක්. ඇලීම් ළඟ උපදින තෘෂ්ණාවත්, අයිතිය පිළිබඳ දැඩි හැඟීමත්, ලිංගික මාත්සර්‍යයත් අවසානයේ බොහෝදෙනා අනවශ්‍ය පීඩනයක් බවට පත් කරගන්නවා. ඒ හින්දා බැඳීම් නිදහස සහ විශ්වාසයත් ඒ තුළින් උපදින ආදරයත් ඔස්සේ මෙහෙයවීම වැදගත් සහ සැනසිලිදායකයි.
ඒ වගේම අත්‍යවශ්‍ය කාරණයකදී හැරෙන්න අනෙකා හැමවිටම ප්‍රශ්න කරමින් තමන්ගේ විශ්වාසය තහවුරු කරගන්න උත්සාහ කරන්න එපා... අයිතිය හඟවන්න උත්සාහ කරන්න එපා.... බැඳීමක් කියන්නෙ සිරගෙයක් නෙවෙයි... එය සතුට සැහැල්ලුව සහ ආධ්‍යාත්මික සුරක්ෂිතභාවය දෝර ගලා යන ඉසව්වක් බවට පරිවර්තනය කරගන්න... එවිට ඒ බැඳීම් හරි වින්දනීයයි. හැමවිටම අනෙකාට ආශිර්වාදයක් වෙන්න... ඔබ අනෙකා නිදහසේ තැබූ විට, වාරණවලින් වියුක්ත පරිසරයක රඳවා තැබූවිට ඔහු හෝ ඇය ඔබ කෙරෙහි සැබැවින්ම බැඳී ඇත්නම් කවදාවත් ඔබ හැර යන්නෙ නැහැ...
වචන කියන්නෙත් ඕනෑම බැඳීමකදී හෝ මිනිසුන් මිනිසුන් සමඟ කරන ගනුදෙනුවලදී හරි ප්‍රබල මෙවලමක්. ඇතැම් පුද්ගලයන් වචන කෙරෙහි හුඟාක් සංවේදීයි.... වචනවලට පුළුවන් කෙනෙක් රිදවන්න වගේම සුවපත් කරන්නත්... අප ලෝකය වෙත ප්‍රදානය කරන යමක් වෙත්ද අපට යළි පෙරළා ලැබෙන්නේත් එහි ප්‍රතිවිපාකයයි... එය ස්වභාවධර්මය සතු න්‍යායයක්... එහෙයින් නොරිදවා සුවපත් කිරීම සොඳුරු මානුෂවාදී ධර්මතාවයක්...
අප දැන හෝ නොදැන අපේ ආධිපත්‍යය පතුරුවන එක දෙයක් තමයි අපි තීරණ රැගෙන අනෙකාට දැනුම්දීම තමයි කරන්නෙ... වෘත්තීය සහ සමාජ ජීවිතයේදී විමසීමකින් හෝ ඇහුම්කන් දීමකින් තොරව එහෙම තීරණ ගන්න වෙන තැන් නිරායාසයෙන් ඇති වෙනවා. එහෙත් පෞද්ගලික ජීවිතයේදී, ඔබේ ජීවිතයට හුඟාක් සමීප බැඳීම් තුළදී ඔබට පුළුවන් සමහර විට එක අකුරක වෙනසකින් බැඳීම් තුළ මිහිරි පරිවර්තන ඇති කරගන්න. හුඟාක් අය යමක් තීරණය කරලා අනෙක් කෙනාට කියන්නෙ මම මේක කරනවා මම ගමනක් යනවා.... මේ ආදී වශයෙන්... ඒත් ඔබට පුළුවන් නම් හැකි සෑමවිටම අනෙකාගෙන් මම මේක කරන්නද? අපි එහෙම කරමුද? ඒකට ඔයා කැමතිද? ඒ ගැන ඔයාගේ අදහස මොකක්ද?
මම ඒ ගමන යන්නද? ආදී වශයෙන් විමසුමට ඉඩක් දෙන්න එය ඔබ අනෙකාට ලබාදෙන ගෞරවයක්... ඔබේ ජීවිතයේ අනෙකා වෙනුවෙන් ඉඩක් ඇති බවට කරන හැඟවීමක්... (වා) යන්නෙන් අවසන් කරන ඇතැම් වචනයක තියෙන ආධිපත්‍යයත් (ද) යන්නෙන් අවසන් කරන ඇතැම් වචනයක තියෙන සෞම්‍ය ගුණයත් අතර වෙනස ඔබට වැටහුණාද?
නිදහස තරම් මිනිසුන් ඉල්ලා සිටින තවත් දෙයක් නැති තරම්... ඕනෑම බැඳීමකදීත් එය වලංගුතාවක්... සැබැවින්ම ඔබ අනෙකා බැඳ තැබිය යුත්තේ ඔබ යන්න කීවත් නොයන තරම් වටිනාකම් පිරුණු ආදරයකින් මිස තහනම් තහංචි හෝ ආධිපත්‍යයකින් නොවෙයි... එසේ බැඳ තබන ඕනෑම තැනකදී හැර යන්න අංශුමාත්‍රයක් හෝ ඉඩක් ලැබෙන තැනකදී භෞතිකව මෙන්ම ආධ්‍යාත්මිකවත් හැරයාම නියතයක්...
මනෝ විද්‍යාත්මක සිද්ධාන්ත ඇසුරින් මේ ස්වභාවයන් විග්‍රහ කරන්නේ නම් අපට ගතහැකි වචන දෙකක් තියෙනවා. ඒ තමයි කොන්දේසි සහගත බැඳීම් සහ කොන්දේසි විරහිත බැඳීම් අතිශය කොන්දේසි සහගත බැඳීම්වලට වඩා කොන්දේසි විරහිත බැඳීම් තුළ ගැටුම් අඩු බවක් පෙන්නුම් කරනවා. ඒ බැඳීම් පවතින්නේ අන්‍යෝන්‍ය විශ්වාසය මත.
සරලව කිවහොත්, කොන්දේසි විරහිත බැඳීම් කියන්නෙ නිදහසේ පවත්වාගෙන යන බැඳීම්. කොන්දේසි විරහිත ආදරයක් කියෙන්න් ඔබ නිදහසේ පිරිනමන ආදරයයි. යමෙකු ඔබ වෙනුවෙන් කරන දේ මත ඔබ එය පදනම් කර නොගනී. ඔබ සරලවම ඔවුන්ට ආදරය කරන අතර ඔවුන්ගේ සතුටට වඩා වැඩි යමක් අවශ්‍ය නොවේ. මෙම ආකාරයේ ආදරය, සමහර විට දයානුකම්පිත හෝ අගාපේ ආදරය ලෙස හැඳින්වෙනවා. අපි දකින ආකාරයට හුඟාක් අය බැඳීම්වලදී, ගනුදෙනුවලදී බොහෝ අය තමන්ගෙ ආධිපත්‍යය පතුරුවන්න තමා උත්සාහ කරන්නෙ. ඒ වගේම බැඳීමක් සහ ඇලීමක් අතරෙ වෙනස හුඟාක් අය තේරුම් ගන්නෙ නෑ. බැඳීමක් ඇලීමක් බවට පරිවර්තනය කරන්න උත්සාහ කරද්දී තමයි අනෙක් කෙනාට මානසික හිරිහැරයක් වෙන මනුෂ්‍ය හැඟීම් හුඟාක් නිර්මාණය වෙන්නෙ.
ඒ වගේම අපි පෞද්ගලික හෝ සමාජීය වශයෙන් හුඟාක් බැඳීම් ගනුදෙනුවලදී අපි කරන්නෙ තීරණ අරගෙන මම මෙහෙම කරනවා කියන දැනුම් දීම කරන එක. සමාජයේ බොහෝ අවස්ථාවල දකින්නට ලැබෙන දෙයක් තමා මේක ඇතැම් ආයතනවල මිනිසුන් අතරෙ මානුෂික සහ ආධ්‍යාත්මික බැඳීම් හරි අඩුයි. ආයතනවල රුස්වීම් එහෙම පවත්වන්නෙ තමා යම් තීරණයක් අරගෙන එය ප්‍රසිද්ධියේ දැනුම්දීමට පමණයි. අනෙකාගේ මතවාද ක්‍රියාත්මක වනු දැකීම අතිශය දුර්ලභ දෙයක්. ලංකාව තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් වන්නෙ ඒ නිසා කියන එකයි අපගේ හැඟීම.
මිනිසුන් අතර බැඳීම් පවත්වාගෙන යනවිට අනෙකාගෙන් අහල යම් දෙයක් කරන්නට මිනිසුන් අදිමදිකමක් දක්වන බව පේනවා. ඒක තමාගේ තත්ත්වයට මදිපුංචිකමක් කියලා හිතන්නට බොහෝ අය පුරුදුවෙලා තිබෙනවා. ඒක තමා එම පුද්ගලයාගේ එකම දුරුවලතාව. මිනිසුන් අතර කොන්දේසි විරහිතව අනෙකාගේ අදහස මතය අගයමින් සම්බන්ධතා පවත්වාගෙන යන්නට පුළුවන්නම් එම සම්බන්ධතා වඩාත් ශක්තිමත් වෙනවා. මෙහිදී කෙනෙක් තර්ක කරන්න පුළුවන් කොන්දේසි විරහිතවම ඇතැම් සම්බන්ධතා පවත්වාගත නොහැකි බව. එයට දිය හැකි ප්‍රතිවදන නම් ඔබ කොන්දේසි විරහිතව කටයුතු කරන විට අනෙකා තමාගේ වගකීම් තේරුම්ගෙන වගවීමකින් යුක්තව කටයුතු කරන්නට පෙළඹෙන බව ප්‍රත්‍යක්ෂ කරුණක්.