2022 ජුනි 19 වන ඉරිදා

ලේ නහර ඇට මිඳුළු විනිවිද දැනෙයි පිය සෙනෙහසක අරුමය

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:00 8

අද ලෝක පියවරුන්ගේ දිනය ලොවපුරා තවත් රටවල් ගණනාවක පියවරුන්ගේ දිනය වාර්ෂිකව ජූනි මාසයේ තුන්වැනි ඉරිදා එනම් ජූනි 19 සමරනු ලබනවා. ඒ නිසා අද පියවරුන් පිළිබඳව පිය සෙනෙහස පිළිබඳව කතා කරන්නට හිතුවා. පිය සෙනෙහස දෙවැනි වන්නේ මවු සෙනෙහසට පමණක් බව පළමුව කිව යුතුයි. ඇඟ ලේ කිරි නොවුණාට මවු සෙනෙහසට සමාන සම්, මස්, ඇට, ඇටමිදුලු විනිවිද ගිය සෙනෙහසක් පියවරුන් තුළත් පවතින බව පැහැදිලි කරුණක්. ඒ නිසා දරුවෙක් මවට පියාට සමාන සෙනෙහසක්, සැලකිල්ලක් දක්වන්නට කටයුතු කිරීම වැදගත්.

දාරක ස්නේහය කියන්නෙ කුමක්ද කියල මනා පැහැදිලි කිරීමක් සුදොවුන් රජු විසින් බුදුරජාණන් වහනේසේට පැහැදිලි කරල තියෙනව. ්‍

“පුත්ත පේමං භන්තේ ඡවිං ඡින්දති
ඡවින් ඡෙත්වා ඡම්මං ඡින්දති
ඡම්මං ඡෙත්වා මංසං ඡින්දති
මංසං ඡෙත්වා නහාරුං ඡින්දති
නහාරුං ඡෙත්වා අට්ඨිං ඡෙන්දති
අට්ඨිං ඡෙත්වා අට්ඨිමිඤ්ජං ආහච්ඡ තිට්ඨති''

ස්වාමීනි පුත්‍ර ප්‍රේමය සිවිය සිඳියි. සිවිය සිඳ සම සිඳියි. සම සිඳ මස් සිඳියි. මස් සිඳ නහර සිඳියි. නහර සිඳ ඇට සිඳියි. ඇට සිඳ ඇට මිදුලු තුළට පිවිස සිටියි. නැතහොත් කිඳා බැස සිටියි.

''පුදුමයි පුතුනි, මගෙ ඇඟ ලේ කිරි නොවුණේ'' යනුවෙන් ටී.එම් ජයරත්න ගායනා කරන පරිදි රක්ත වර්ණ රුහිරු ධාරාවන් ශ්වේත වර්ණ කිරි දහරාවන් බවට පරිවර්තනය කිරීමේ අසංවාදී අනුහස මවකට පමණක් සොබාදහම තිළිණ කළත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තාත්තා කෙනෙක් වූ තාත්තා කෙනෙක් ගේ ආදරය මහා සාගරයටවත් සම කළ නොහැකි ඇට ලේ මස් විනිවිද ළය ස්නේහයෙන් බදාගත් අපූරු හැඟීමක්...

පුජ්‍ය කිරඹ සුමංගල හිමියන් විසින් පද රචනය කරන ලද, මනෝරි උග්ගලගේ විසින් සප්තස්වර සුසංයෝග කරන ලද, ගායන ශිල්පී සුනිල් එදිරිසිංහයන් විසින් ගායනා කරන “රන්මැලි සෑය විය දිවි අඹරට නැඟුන” ගීතය මගින් පියතුමෙකුගේ ස්වභාවය මැනවින් පැහැදිලි කෙරෙනවා. “රන්මැලි සෑය විය දිවි අඹරට නැඟුන” යන පද පෙළින් ප්‍රකාශ කරන ආකාරයට පියා රන්මැලි සෑයට උපමා කරනවා. රන්මැලි සෑය කියන්නෙ බෞද්ධයන්ගේ පූජනීයත්වයේ මුදුන් මල්කඩක් වන් ස්වර්ණමාලි මහසෑය. පියා ස්වර්ණමාලි මහසෑයට උපමා කිරීම තුළින් පියාණන්ට පූජනීයත්වයක් ලබාදෙන්නට ගීත රචක හිමියන් සිය වචන මෙහෙයවනවා. ස්වර්ණමාලි මහසෑය ආකාසයට නැගුණ මහසෑයක්. මෙහි අඹර කියන වචනයෙන් හඳුන්වන්නෙ අහස. දිවි අඹර කියන්නේ අපගේ ජීවිතය නැමැති අම්බරය නැතහොත් අහස. පියා යනු අපගේ ජීවිතය නැමැති අහසට නැගුණ රන්මැලි සෑය වන බව ගීත රචක හිමියන් අපට පෙන්වා දෙනවා.

“සුදොවුන් පියා විය සක්විති මඟ තනන”, යන පද පෙළින් සුද්ධෝදන රජතුමාගේ අපේක්ෂාවක් ගැන අපට මතක් කරලා දෙනවා. සිද්ධාර්ථ කුමරු ගිහිගෙය හැර ගොස් බුදු වෙනවාට සුද්ධෝදන රජතුමා කැමැති වුණේ නැහැ. සුද්ධෝදන රජතුමා කැමති වූයේ සිද්ධාර්ථ කුමරුන් සක්විති රජු වනු දැකීමට. දරුවන්ට සක්විති රජ වන්නට මග තනන්නේ පියාණන් බව ගීත රචක හිමියන් අපට මතක් කරලා දෙනවා.

“සමනළ පව්ව විය දුක සැප සම දරණ” යන පද පෙළින් ගම්‍ය වන ආකාරයට, සමනළ පර්වතය කියන්නෙත් බෞද්ධයන්ගෙ පූජනීයත්වයේ මුදුන් මල්කඩක්. සමනල පර්වතය අව් වැසි, ශීත උෂ්ණ යනාදී වශයෙන් දුක සැප දෙකම සමව දරණ පර්වතයක්. පියාණන්ද සමනල පර්වතය මෙන් දුක සැප සමව දරණ පර්වතයක් හා සමාන බව බව ගීත රචක හිමියන් අපට මතක් කරලා දෙනවා. මෙම ගීතය තුළ සෑම විටම පියාණන් සමාන කරන්නෙ පූජනීය වස්තූන්ට.

“අසනි වැසි රුදුරු වග වලසුන් අතරේ
සිව් මහ දෙවිඳු වී නිති රැකවල් සැදුවේ
හිරුටත් කලින් අවදිව කෙත්වත් තැනුවේ...
බෝසත් පාරමී ගුණයෙනි අප වැඩුවේ...”

මෙම ගී පද පේළිවලින් ප්‍රකාශ කෙරෙන්නේ පියතුමෙක් දරුවන්ට ආරක්ෂාව සලසන ආකාරය. “අසනි වැසි රුදුරු වග වලසුන් අතරේ” අසනි වැසි යනු අකුණු ගසමින් වසින දරුණු වැසිය. එවන් දරුණු වැසි වලින් නොතෙමා දරුවන්ට ආරක්ෂාව සලසන්නේ පියාණන්ය. පියා තෙමෙමින් දරුවන්ට නොතෙමී ඉන්නට සලස්වනවා. වග කියන්නෙ කැලෑව. කැලෑවේ වසන දරුණු වළසුන්ට වග වලසුන් කියල කියනවා. එවන් සතුන්ගෙන් තම දරුවන් ආරක්ෂ කරන්නේ පියාණන්. සෑමවිටම සිය දුරුවන්ගෙ ආරක්ෂාව සලසන එක පියතුමකුගේ උතුම් ගුණ ධර්මයක්. 

“සිව් මහ දෙවිඳු වී නිති රැකවල් සැදුවේ”. පියා අපගේ ආරක්ෂාව සැලසුවේ සතර මහා දෙවියන් ලෙසින්. සතර මහා දෙවියන් අපව හතර පැත්තෙන් ආරක්ෂා කරන බවට බෞද්ධයන් අතර විශ්වාසයක් පැවතෙනවා. හතරමහා දෙවියන් කියන්නෙ වෛශ්‍රවණ, ධ්‍රතරාෂ්ඨ, විරූපාක්ෂ, විරූඨ නමින් හඳුන්වන දෙවියන් හතර දෙනා. පියාණන් අපව ආරක්ෂා කළේ, අපට රැකවරණය සැදුවේ සතරමහා දෙවියන් විලස බව ගීත රචක හිමියන් අපට මතක් කරල දෙනවා.

“හිරුටත් කලින් අවදිව කෙත්වත් තැනුවේ...” පියා කෙත්වතු පෝෂණය කරල හදන්නට යන්නේ හිරුටත් කලින් අවදිව. ඒ කියන්නේ හිරු උදාවට කලින් පියා වත්ත පිටියට, කුඹුරට පිටත්ව යන බව. සමහර පියවරුන් වත්ත පිටියට, කුඹුරට යන්නෙ ඇතැම්විට උදේට තේ කහට එකක් බීල එහෙමත් නැත්නම් තේ කහට එකක්වත් නැතුව.

“බෝසත් පාරමී ගුණයෙනි අප වැඩුවේ...” යන පද පෙළට අනුව පියතුමෙක් දරුවන් වඩන්නේ බෝසතුන් තුළ තිබූ පාරමී ගුණ දරුවන් කෙරෙහි දක්වමින් බව ගීත රචක හිමියන් අපට සිහිපත් කරනවා. පියතුමෙක් සෑමවිටම පාරමිතා පුරන්නාක් සේ දරුවන් වෙනුවෙන් සිය යුතුකම් ඉටු කරමින් දරුවන් හදන බව ගීත රචක හිමියන් අපට මතක් කරලා දෙනවා.

“බුධදස් නිරිඳු සේ අත් බෙහෙතක් හදලා
පැල ඉනි වැටෙත් ගණපති රූපය ඇඳලා
තුසිතෙක ඉසුරු පැලවට සිවු කොණ තබලා...
ලොව්තුරු සුව විඳී අප රජවනු දැකලා..///”

“බුධදස් නිරිඳු සේ අත් බෙහෙතක් හදලා” යන පද පෙළින් ගීත රචක හිමියන් පියා අත් බෙහෙත් හදන ආකාරය බුදදස් නිරිඳුට සමාන කරනවා. දේශීය රජවරුන් අතර ප්‍රකට වෛද්‍යවරුයෙක් වන්නේ බුද්ධදාස රජතුමා. පියාණන් තම දරුවන් අසනීප වූ කල, තුවාල වූ කළ පළමුවෙන් කරන්නෙ අත් බෙහෙත් හදල සුවපත් කරන්න උත්සාහ කරන එක. පස්පංගුව තම්බල පොවනවා. වෙනිවැල්ගැට තම්බල පොවනවා දරුවන්ට කායික ශක්තිය ලැබෙන්නට. අතක, කකුලක පොඩි තුවාලයක් හැදුනම ගඳපාන කොළ ටිකක් තලල තුවාලෙ තියනවා. තැල්මක් ඇති වුණාම උණු අළු වලින් තවනවා. මේ වගේ ක්‍රම තමා අත් බෙහෙත්. 

“පැළ ඉනි වැටෙත් ගණපති රූපය ඇඳලා”, යන පද පෙළින් ගම්‍යවන ආකාරයට දරුවන්ට බුද්ධිය ලබාදෙන්නට, විභාග වලින් සමත් වන්නට ගණදෙවියන්ගේ ආශීර්වාදය ලැබෙන බව සිංහල, ද්‍රවිඩ ජාතිකයන්ගේ විශ්වාසයක් පවතිනව. ඒ නිසා පියාණන් ගණ දෙවියන්ගේ රූපය ඇඳල පැළ ඉණි වැටේ එල්ලන්නේ තම දරුවන්ට බුද්ධිය මෙන්ම ආරක්ෂාව ප්‍රාර්ථනා කරමින්.

“තුසිතෙක ඉසුරු පැල වට සිවු කොණ තබලා..” තම පැළ තුළ සිටින තමාගේ දරුවන්ට තමා නොකා නොබී වුවද සියලු සැප සම්පත් ලබාදෙන්නට පිය තුමෙක් කටයුතු කරන ආකාරය මෙම පද පෙළින් ප්‍රකාශ කෙරෙනව. තුසිත දිව්‍ය ලෝකය කියන්නෙ සියලු සැප සම්පත්වලින් ආඪ්‍ය තැනක්. තුසිත දිව්‍ය ලෝකෙ වගේ දරුවන්ට අවශ්‍ය සියලු සැප සම්පත් තම ගෙපැළ තුළ සිවුකොනේ තබනව කියන පදවලින් ගම්‍ය කරන්නෙ දරුවන්ට අවශ්‍ය ආහාර පාන, ඇඳුම් පැළඳුම්, පොත්පත් යනාදී සියලු සැප සම්පත් තම නිවස තුළ තබන්නට පියාණන් කටයුතු කරන බව.

“ලොව්තුරු සුව විඳී අප රජවනු දැකලා..”, අවසාන පද පෙළට අනුව පිය තුමෙකු සෑම විටම උත්සා කරන්නෙ තම දරුවන් රජුන් මැද පිහිටුවන්නට. තම දරුවන් දියුණු වනු දැකල වැඩිපුරම සතුටු වන්නෙ අම්ම තාත්තා. මෙහිදී ගීත රචක හිමියන් තාත්තාගේ මානසික සතුට, සුවය අවධාරණය කරනවා. තම දරුවන් රජවනු දැකීම පිය තුමෙකුගේ ලෝකෝත්තර සුවය කියල ගීත රචක හිමියන් අපට සිහිපත් කරනවා. ලෝකෝත්තර සුවය කියන්නෙ සුවයන් අතර ඉහළම සුවය. ඇත්තටම අපගේ පියාණන් ලොව්තුරු සුව විඳී අප රජවනු දැකලා.....