2021 මැයි 08 වන සෙනසුරාදා

මම සිනා නොවෙමි

 2021 මැයි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 169

තමන්ගේ අසල්වැසියකුගේ නිවසෙහි දොරෙහි, “කොරෝනා අද නොවේ හෙට" යනුවෙන් සඳහන් පුවරැවක් එල්ලා ඇතැයි, අපේ රොබින් කියූ කතාවට මට සිනාගියේ නැත. කොරෝනාව යනු තවදුරටත් සිනාසිය යුතු දෙයක් නම් නොවේ. මට සිනා යන්නේ අපේ මිනිස්සු ගැනය.

තමන්ට ම සිනාසීමට ඇති හැකියාව. (ඇතැම් විට තම රට, ජාතියට) ආඩම්බර විය යුතු සංස්කෘතික හැදියාවක් බවට පිළිගැනීමක් ඇත. මට නම්, ඒ සම්බන්ධයෙන් ඇත්තේ, හැදියාවක් නොව, හැකියාවක් පමණක් බව අවංකව කිව යුතුය.

කොරෝනාවට සිනා නොයතත්, මට අපේ මිනිස්සු ගැනනම් සිනා පහළ වෙයි. ඒ ගැන කිසිවෙක් මූණ එල්ලා ගත යුතු නැත. අපේ සිරිලංකාවේ මිනිස්සු "මෝඩ ජෝකර්" ලා යැයි මම කිසිවිටෙකක් නොකියමි. නොසිතමි. අපේ මිනිස්සු මෝඩ නැත. එහෙත් ඕනෑවටත් වඩා අහිංසකය. "දෙන දෙයක් කා, වෙන දෙයක් බලා සිටීම" ජාතික ප්‍රතිපත්තියකැයි පිළිගැනීමට වුවත් සූදානම්ය.

සුද්දා රට කළ කාලයේ පමණක් නොව, හතළිස් අටේ "බන්දේසි නිදහසින් පසුවත්, අපේ පාලකයන් කළේ, තම තමන්ට අවශ්‍ය අන්දමට මිනිස්සු හීලෑකර ගැනීමය. සිංහයකු පවා හීලෑ කරගත් විට ඒකා සර්කස් බංකුවේ පවා ලැග්ගවිය හැකිය."

පසුගිය කාලේ අපේ අහිංසක - හීලෑවූ  මිනිස්සු බලා සිටියේ. "කොරෝනා භංග පැණිය" මුළුමහත් ලෝකයේම පිළිගැනීමට ලක්වීමෙන් පසු, වෛද්‍ය විද්‍යාවට පිරිනැමෙන නොබෙල් තෑග්ග කෑගල්ල පැත්තට ලැබෙන තුරුය.

මට එයටද සිනා පහළ නොවේ. විද්‍යාවට වඩා මිථ්‍යාවට සෙනඟ වැඩිය. Trust Science- it works (විද්‍යාව විශ්වාස කරන්න. එය ප්‍රතිඵලදායකය) යනුවෙන් ප්‍රකට කියමනක් ඇත. අනේ, අපේ මිනිස්සු පිළිගන්නේ එහි අනෙක් පැත්තය. මට එයටද සිනා නොයයි.

කලකට ඉහත අපේ රටේ නගරවල "පචගස්" නමින් ගස් ජාතියක් තිබුණි. (දැන් ඒ ගස් නැත්තේ කපා දැමීම නිසා නොවේ.) ඒ ගස් යටට පැමිණෙන නා නා ප්‍රකාර තෙල් බෙහෙත් කාරයෝ එක එක කතන්දර කියා තම තමන්ගේ නිෂ්පාදන විකුණා ගත්හ. ඒ නිෂ්පාදන අතර විවිධ තෙල් වර්ග, දත් බෙහෙත්, ඉනා බෙහෙත් සහ තව තවත් දේ තිබුණි. එහෙත් ඒ කිසිවක් විද්‍යාත්මක නිෂ්පාදන නම් නොවූ අතර, අර "වෙද මහත්තුරු*" කළේ, නගරයට එන අහිංසක මිනිසුන් මුළා කර, දවසේ ගතමනාව සොයා ගැනීමය. ඔවුන්ට සෙවණ දුන් ගස්, "පච ගස්" වූයේද එහෙයිනි.

දැන් පච ගස් නැතත්, තෙල් බෙහෙත්කාරයෝ සිටිති. ඔවුන් සිටින්නේ සුඛෝපභෝගී මන්දිරවලය. ඔවුන්ගේ ඇන්දිලිවලට, විශාල මාධ්‍ය ප්‍රචාරයක් ලැබෙයි. විද්‍යාවට වඩා මිථ්‍යාව වැඩ කරයි. ඒ නිසා, මේ තෙල් බෙහෙත්කාරයෝ, දේශපාලනඥයන් බවටද පත්වෙති. සෑම සාර්ථක දේශපාලනඥයකු තුළම, තෙල් බෙහෙත්කාරයෙක්ද සිටී. අපේ අහිංසක මිනිස්සු, ඒ බව දැන දැනත් ඔවුන් පසුපස යති. තෙල් ගනිති. නා ගනිති. අනා ගනිති. හත්පොළේ ගා ගනිති. මට එයටද සිනා නොවෙමි.

හින්දු ආගම, ආණ්ඩුවටත් වඩා ප්‍රබල ආණ්ඩුවක් වී තිබෙන ඉන්දියාවේ, කොරෝනා පැතිරීම ගැන ඇත්තක් කියූ රෑපවාහිනි නිවේදිකාව, මහමගදී පහරදී මරාදමන ලදී. සිරි ලංකාවේ නම් එසේ නැත.

ඇතැම් මාධ්‍යවල සිටින, ඇතැම් නිවේදක නිවේදිකාවන් කරන කියනා දේවලට, ඔවුන් උල තියන්නට සිතන මිනිසුන්ද මේ රටේ නැතුවා නොවේ. එහෙත් ඔවුන් එය ක්‍රියාවට නංවන්නේ නැත. මට ඒ ගැනද සිනාසීමට අවශ්‍යතාවක් නැත.

ඕනෑම ගොන් සින්දුවක් නිතර නිතර ප්‍රචාරය කිරීමෙන් ප්‍රසිද්ධියට (ජනප්‍රිය නොවේ) පත් කළ හැකිවාක් මෙන්ම, ඕනෑම බොරුවක් නිතර නිතර කීමෙන් සත්‍යයක් බවට පත් කළ හැකිය. හිට්ලර්ද, තම ප්‍රචාරණ ඇමැතියා වූ ගොබෙල්ස් මගින්, මෙම "බිග් ලයි තියරියෙන්" වැඩ ගත්තේය.

අපේ රටේද හැම ආණ්ඩුවකම ගොබෙල්ස්ලාද එකෙක් දෙන්නෙක් හෝ සිටියහ. උන් කළේ ඇත්ත බොරුව කිරීමය. බොරුව ඇත්ත කිරීමය. මෙම බිග් ලයර්ස්ලා පරම්පරා ගණනාවක් පුරා කළ වැඩ, අහිංසක ජනතාවගේ ජාන ගත විය. අපේ මිනිස්සු, සත්‍යයට වඩා බොරුවට (විද්‍යාව වෙනුවට මිථ්‍යාවට) සංවේදී වන්නේ එහෙයිනි. ඉතින් මා ඔවුන්ට සිනාසෙන්නේ කෙළෙසද?

එක මාස්ක් එකක් දැමීමත් වදයක් වී සිටි මිනිසුන්ට, වැඩි ආරක්ෂාව සඳහා මාස්ක් දෙකක් පැළඳීම සුදුසු යැයි කියනු ඇසෙයි. මෙය නම්, කොරෝනාවට කලින් හුස්ම හිරවී මැරෙන වැඩකැයි කෙනෙකුට සිතෙන්නට පිළිවන. එහෙත්, අපේ රොබින් කියන ආකාරයට, මාස්ක් දැමීම අපට කරදරයකැයි සිතිම වැරුදිය. උපන්දා සිටම නාස් ලණු දමා ගැනීමේ පුරුද්ද අපේ ජාතිය සතුය.

මට, ඒ කතාවට නම් සිනා ගියේය. එතැනදී නම් මතුවන්නේ මගේ හැකියාව නොව හැදියාවය. අපගේ කාර්යාල මිත්‍ර, දේශපාලන කථික, රතු විමලේ ඊයේ පෙරේදා මාර කතාවක් කීවේය. ජේ.ආර්. ජයවර්ධන නමැති පුද්ගලයා මියගියද, ජේ.ආර්. ජයවර්ධන නැමැති පාලකයා මියගියේ නැත. ඔහුගේ නියමයන්, තවමත් ක්‍රියාත්මක කෙරෙයි. තමන්ගේ ආරක්ෂාව, තමන් විසින්ම සළසා ගතයුතු යැයි කීවේ ජේ.ආර්.ය මේ දැනුත් ඇසෙන්නේ ඒ හඬම නොවේදැයි, විමලේ ඇසීය. ඒකට නං මට, දෙකොනින්ම සිනා ගියේය. අනේ අපි කොතරම් හීලෑද? අහිංසකද?

කපිල කුමාර කාලිංග