2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා

මහත්වරුන්ගේ ක්‍රීඩාවේ ’’සරදම් පන්දු’’

 2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 169

"එල්.පී.එල්." තරගාවලියේ ආරම්භයත් සමඟම, නිවී ඇල්වී තිබූ ක්‍රිකට් ක්‍රීඩාව "ලොක්ඩවුන්" කළ නොහැකි බව මෙන්ම ක්‍රීඩා ලෝලීන්ගේ ජයඝෝෂා, ප්‍රීති ඝෝෂා නැතිව වුවත් "ඔන්ලයින්  පිටියක"ද, ක්‍රිකට් ගැසිය හැකි බවත්ද, කාටත් පෙනී ගියේය. තවත් විදිහකින් කියනවා නම්, දැන් තිබෙන්නේ "නිව් නෝමල් ක්‍රිකට්"ය.

ක්‍රිකට් යනු ක්‍රීඩාවකට එහා ගිය ක්‍රීඩාවකි. එක්වරක්, පකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයකු පැවසූ අන්දමට, ඉන්දියාව, පකිස්ථානය වැනි රටවල ජනතාවට, ක්‍රිකට් යනු ආගමකි. ඉන්දියාවේ දිළිඳු ජනයා, ලේ විකුණා හෝ චිත්‍රපට බලන්නා සේම, නොකා නොබී හෝ ක්‍රිකට් නරඹති. ක්‍රිකට් ක්‍රීඩකයන්ටද, සිනමා තරැවලට සේම ආදරය දක්වන අතරම තරග පැරදුණු විට, ඔවුන්ගේ රෑපද, ගෙවල් දොරවල්ද ගිනිබත් කරති. ඒ අතින් බලන කළ ක්‍රිකට් ලෝකය තුළ, කිසියම් උන්මාදයක්ද සැඟව ඇත. (ක්‍රිකට් පිස්සුව?)

ආරම්භයේදී මෙන් නොව, දැන් ක්‍රිකට් දේශපාලනිකය. සූදුවද ඒ සමඟ පැටලී ඇත. තවත් අතකින් ක්‍රිකට් යනු රුකියාවකි. ව්‍යාපාරයකි. සිරි ලංකාවේ, ක්‍රිකට් විශාරදයකු හමුවූ අවස්ථාවක මම මෙසේ විමසුවෙමි.

"සාමාන්‍ය මිනිස්සු අතරේ, ක්‍රිකට් මේ තරම් ජනප්‍රිය ඇයි?"

එවිට ඔහු, කදිම පිළිතුරක් දුන්නේය.

"කොයි කාටත්, ලේසියෙන් තේරෙන නිසා." මම ඔහු හා එකඟවීමි. "තේරෙන" යන වදන වෙනුවට "විඳීම" හෝ "විඳිය හැකි" යන වදන් යොදා ගත් කළ ඔහුගේ කීම වඩා අර්ථවත් වෙයි.

අප නිවසට එන යන, මළපොතේ අකුරක් නොදත් කාන්තාවක් වෙයි. ඇයද ක්‍රිකට් නරඹන්නේ මහත් උද් යෝගය. විටෙක එය ආවේගයකට හැරෙයි. ඇය දක්වන ප්‍රතිචාර, අප විනෝදයට පත් කරයි. ක්‍රීඩකයකු අතින්, උඩ පන්දුවක් ගිළිහුණු විටෙක ඇය මෙසේ කියයි.

"නොදකින් බූරැවා... අතේ හිලක් වෙන්ඩැති. පැනල අල්ලන්ඩ එපායැ."

අපේ පිළේ පන්දුවකට, හයේ පහරක් වැදුණු විට, හිසේ අත ගසාගන්නා ඇය මෙසේ කියයි.

"මොකක්ද අරෑ ඒ දුන්නු බොලේ.... ගහන්ඩමනෙ දැම්මෙ. ඔහොම බෝල දැම්මොත්, මටත් පුළුවන් හයේ පාරවල් ගහන්න... කවුරු ගත්තද මන්දා ඔය කාලකණ්ණියව..."

මෙබඳු අත්දැකීම්, අප රටේ බොහෝදෙනාට ඇති බව දනිමු. නරඹන්නෝ, ක්‍රිකට් විචාරකයන් පමණක් නොව පුහුණුකරැවන් බවටද පත්වෙති. දැමිය යුතු පන්දුව ගැන ඔවුහු වාස්ටත් වඩා දනිති. ගැසිය යුතු පහර ගැන සංගාටත් වඩා දනිති. ක්‍රීඩකයකුගෙන් "වරදක්" සිදුවූ කළ ඔවුනට "අම්ම මෝ" නැතුව බණින්නේ එහෙයිනි.

"මොකක්ද ඒ සෙල්ලම? හැම තිස්සේම කවුරු හරි, බෝලයක් පස්සෙ දුවනවා."

තවත් කෙනෙකුට, ක්‍රිකට් යනු, අධිරාජ්‍යවාදී ක්‍රීඩාවකි. එය සීත රටවලට මිස, උෂ්ණාධික, රටවලට ගැළපෙන්නක් නොවේ. ගිනියම් අව්වේ පිච්චෙමින්, දාඩිය මුගුරු හෙළමින්, හිසේ සිට දෙපතුළ දක්වාම වසාගෙන දින ගණනාවක් තිස්සේ "ටෙස්ට්" ගැසීම ක්‍රීඩාවක් නොව දඬුවමකි. ශරීරයට වධයකි. කාලය කා දැමීමකි.

එකී විචාරකයන්ට අනුව, ක්‍රිකට් ගැන උනන්දුවන්නේ, සුද්දන්ගේ කොලනි බවට පත්වූ හෝ ඔවුන්ට කත් ඇදි රටවල් කීපයක ජනතාව පමණි. ලෝකයේ ජනප්‍රියතම ක්‍රිඩාව, පාපන්දු මිස, ක්‍රිකට් නොවේ. අමෙරිකාව, ජර්මනිය, ප්‍රංශය වැනි දියුණු පොහොසත් රටවල් "ක්‍රිකට්" වැද්දගත්තේ නැත. ක්‍රිකට් අපනයන කළ එංගලන්තයේ පවා, තරුණ පරම්පරාව, ක්‍රිකට්වලින් ඈත්වෙමින් සිටින බව දැනගන්නට ඇත. ප්‍රධාන වශයෙන්ම ඊට බලපා ඇත්තේ කාලය මඳකමය. ඒ නිසා එරට ක්‍රිකට් ක්‍රීඩා සමාජයන්හි වැඩි තැනක් සංක්‍රමණික ආසියානු ක්‍රිඩකයන්ට හිමිවෙමින් පවතී.

ක්‍රිකට් යනු මහත්වරැන්ගේ ක්‍රීඩාවකි. (Gentleman’s Game) ගමේ ගොඩේ - මුහුදු වැල්ලේ ක්‍රිකට් සෙල්ලම් කළ කොල්ලන්, ජාතික කණ්ඩායමට එක්වීමට පෙර, ක්‍රිකට් උරැම වී තිබුණේ, ලොකු ලොකු කොලීජිවල උගත් ඉහළ පන්තියේ උදවියටම පමණි.

මහත්වරුන්ගේ ක්‍රීඩාව තුළ, මහත්වරුන්ට නොගැළපෙන දේද සිදුවෙයි. පිටිය මැද සිදුවන උණුසුම් කතාබහ, කාලයාගේ ඇවෑමෙන් හාස්‍යජනක කතාබවට පත්ව, ක්‍රිකට් සාහිත්‍යයටද එක්වෙයි. මෙවර "හීසරය" නිමා කිරීමට එබඳු කතා දෙක තුනක් තෝරා ගතිමි.

පිටිය මැදදී, ප්‍රතිවාදීන් කුප්පවන සුළු "කුප්ප කතා" කීමෙහිලා ඕස්ට්‍රේලියානුවෝ කුප්‍රකටය. එහෙත් ඇතැම් විට, එම කතා ඔවුන්ටම "බූමරංග" බවට පත්වෙයි.

එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවැති තරගයකදී ඉයන් බෝතම්, පන්දුවට පහර දීමට පැමිණියේය. ඕස්ට්‍රේලියානු පිලේ, කඩුලු රකින්නා වන රොඩ්නි මාර්ෂ්ට බොතම් ඇවිස්සීමට අවශ්‍ය විය.

"කොහොමද, තමුසෙගෙ නෝනයි, මගෙ ළමයි දෙන්නයි හොඳින් ඉන්නවද?" බොතම් ඊට මෙසේ ප්‍රති-ප්‍රහාරයක් දුන්නේය.

"ඔව්, මගේ නෝන නම් හොඳින් ඉන්නවා. ඒත් තමුසෙගෙ ළමයි දෙන්න නම් පිස්සු කෙළිනවා."

ක්‍රීඩකයන්ට සරදම් කර (Sledging) ඔවුන්ගේ මානසික ඒකාග්‍රතාව බිඳ දමා, ඉක්මණින් දවා ගැනීම ඕස්ට්‍රේලියානුවන්ගේ බාල උපක්‍රමයකි. 2005 "අළු බඳුන" කුසලාන තරගාවලියේදී වසර 18කට පසු එංගලන්තයට ඕස්ට්‍රේලියාව පරදවා ජයගත හැකි විය. එම කණ්ඩායම අගය කරනු වස් මහරුජින විසින් ඔවුන්ට MBE, OBE වැනි ගෞරව නාම ප්‍රදානය කෙරැණි. එංගලන්ත ක්‍රීඩක පෝල් කොලින්වුඩ්, එම තරගාවලියේ ක්‍රිඩා කළේ එක් තරගයකට පමණි. එහිදීද ඔහු ලැබුවේ ලකුණු 7ක් පමණි. එහෙත, රැජිනගේ නම්බුනාමයක් ඔහුටද හිමිවුණි. ඊළඟ වසරේදී ඕස්ට්‍රේලියාවේ පැවති තරගයකදී පිටියට ආ කොලින්වුඩ්ට ෂේන් වෝන් මෙසේ කීය.

"ඕවල් එකේදී ලකුණු හතක් ගැහුවට, තමුසෙට රුජිනගෙන් නම්බු නාමයකුත් ලැබුණලු නේද? ලැජ්ජයි හලෝ."

දකුණු අප්‍රිකාව සමඟ පැවති තරගයකදි, පිටියට ආ බ්‍රයන් මැක්මිලන්ට, ෂේන් වෝන්ගේ අපහාසයන්ගෙන් ගැලවීමක් නැතිවිය. බැරිම තැන, මැක්මිලන් මෙසේ කීවේය.

"වෝන්! දකුණු අප්‍රිකාව මිනිස්සු අතුරැදන් කිරීම ගැන බොහොම ප්‍රසිද්ධ රටක්. සමහරවිට, ඊළඟ පුද්ගලයා තමුසෙ වෙන්නත් බැරි නෑ."

සිම්බාබ්වේ - ඕස්ට්‍රේලියා තරගයකදී පන්දුවට පහරදෙමින් සිටි බ්‍රැන්ඩේස්ගෙන්, ග්ලේන් මැක්ග්‍රාත් මෙසේ ඇසීය. "තමුසෙ මොකද ඔච්චර මහත?" පිළිතුරද, මැක්ග්‍රාත්ගේ පන්දුවක් සේම වේගවත් විය.

"මම තමුසෙලාගෙ ගෙදර ගියාම, තමුසෙගෙ ගෑනි දෙන කෑම හින්ද තමයි."

කපිල කුමාර කාලිංග