අරුණාචල් ප‍්‍රදේශ් ඉන්දියාවේ වයඹ කෙළවරක පිහිටියේය. 1962 දී ඉන්දු චීන අරගලය පැවැති අවස්ථාවේදී ප‍්‍රාන්තයේ කොටසක් තාවකාලිකව යටත් කරගන්නට චීන විප්ලවීය හමුදාව සමත් විය. මිලියන දහ හතරක පමණ ජනගහනයක් වෙසෙන මෙහි කෘෂිකාර්මික කටයුතු බහුලය. ජනතාවගේ පැවැත්ම සරලය. පසුගියදා ඉන්දියන් එක්ස්ප‍්‍රස් පුවත්පත වාර්තා කළ පරිදි පළමුවරට එම ප‍්‍රදේශයේ ඇති කිවි නමැති පළතුර වස විස රහිත සැපයුම සම්බන්ධ සහතිකය හිමි කරගත්තේය. අරුණාචල් අවට ප‍්‍රදේශ කිසියම් එක දෙයක් බහුලව වගාකිරීම ගැන ප‍්‍රසිද්ධ අතර අරුණාචල්හි වැසියෝ තම අනන්‍යනාව වෙනුවෙන් කිසියම් නිෂ්පාදනයක් කරගෙන යන නොනිත් උත්සාහයක සිටියෝය.
කිවි පළතුර ගැන පළමුවෙන් වාර්තාවෙන්නේ චීනයේය. දොළොස් වැනි සියවසේ දී චීනයේ ඇතැම් ප‍්‍රාන්තවල ස්වභාවිකව වැවුණ කිවි ගෙඩි ඉතා රසවත් හෙයින් අනුභව කරන්නට පෙළැඹී ඇත. පසුව ලෝකයේ නොයෙක් රටවල වැසියෝ එහි රසවත් බවට හුරුවූහ. ලෝකයේ කිවි පළතුර නිපැයුම මෙට්‍රික් ටොන් මිලියන හතරක් බව වාර්තාවන අතර චීනය හැරුණකොට ඉතාලිය, නවසීලන්තය හා ඉරාන ෙය් බහුලව වගා කෙරේ. අපනයනය සඳහා වැඩිම නිපැයුමක් කරන්නේ නවසීලන්තය බව සඳහන්ය.
දශක දෙකකට පමණ කලින් ඉන්දියාවේ අරුණාචල් ප‍්‍රදේශ් හි ගොවියෝ වනාන්තරවල ස්වභාවිකව වැවී තිබුණ පඳුරු ගස්වල ගෙඩි විශේෂයක් කඩා සතුන්ගේ ආහාරයට දෙන්නට හුරු වී සිටියහ. එය ලෝකයේ සුපිරි වෙළඳ සල්වල විකිණෙන පළතුරක් බව මුලින් දැන සිටියේ නැත. පසුව එය රසවත් පළතුරක් පමණක් නොව ඉන්දියාවේ ප‍්‍රධාන නගරවල අලෙවි කරන ආනයනික දෙයක් බව තහවුරු කරගත්හ. දශක දෙකකට පමණ කලින් වෙළඳ පොළට සැපැයීම ආරම්භ කරන ලද අතර දැන් ඉන්දියාවේ වාර්ෂික කිවි පලතුරු අවශ්‍යතාවයෙන් සියයට පනහක් එනම් මෙට්‍රික් ටොන් අට දහසක් සැපයෙන්නේ අරුණාචල් ගොවියන්ගේ කැපවීමෙන්ය.
කැලෑබද ප‍්‍රදේශවල ස්වාභාවිකව වැවී ප‍්‍රයෝජනයක් නොගෙන තිබුණ පළතුරක් අහම්බෙන් ආදායම් මාර්ගයක් කරගන්නට අවස්ථාව පෑදී තිබේ. පළතුරට වෙළඳ පොළ වටිනාකමක් ඇති බව තහවුරු කරගන්නට වසර දහයක් ගත කර ඇත. ඉනික්බිතිව ගත වූයේ සරු කාලයකි. ගොවියෝ එකමුතු වූහ. සංවිධානයක් වශයෙන් ගොඩනැගුණහ. ලෝකයේ අවධානය අනුව වස විස නැති පළතුරුවලට ඇති ඉල්ලුම හඳුනාගත් අරුණාචල් ගොවි සංවිධානය පොහොර නොයොදා කරන කිවි වගාවට හුරු වූහ. එහි නායකයෝ ඉන්දියාවේ වයඹ ප‍්‍රදේශයේ කාබනික ආහාර තත්ත්ව සහතික කරන ආයතනය සමග දිගින් දිගටම ලිපි හුවමාරු කරගනිමින් සිටියහ. වගා කිරීමේදී හෝ අස්වැන්න සඳහා කිසිම පොහොරක් හෝ රසායනික ද්‍රව්‍යයක් භාවිතා නොකරන බව ඔප්පු කළහ. පසුගිය ඔක්තෝබර් මාසයේ දී අරුණාචල් ප‍්‍රදේශ්හි කිවි වගාවට කාබනික තත්ත්ව සහතිකය හිමි විය. සාමාන්‍ය මිල වෙනුවට කාබනික නිෂ්පාදනවලට ලැබෙන ඉහළ මිලක් ලබාගැනීමට හැකි වී තිබේ. එය විශාල ජයග‍්‍රහණයක් වී ඇත. දැනට ප‍්‍රාන්තයේ වගාකරන ප‍්‍රමාණය සම්පූර්ණ බිම් ප‍්‍රමාණයෙන් සියයට පහකි. ඉතිරි කොටසටද ව්‍යාප්ත කළහොත් විශාල වාසියක් අත්කරගත හැකි බව සනාථ වී තිබේ.
අරුණාචල් ප‍්‍රදේශ් හි ගොවියකු සඳහන් කළ පරිදි සතුන් ට තණ කැවීමට වනාන්තරයට යන දරුවෝ ඒවා කඩා ආහාර වශයෙන් කවති. සමහර අයවලුන් රස බැලීමටද හුරු වී සිටියහ. ලෝකයේ නොයෙක් ප‍්‍රදේශවලින් ගෙන්වන ලද රස පළතුරු අතර තම කැලෑවල වැවුණ අන්තේරි නමින් හඳුන්වන ලද ගඩා ගෙඩිවලට තැනක් ලැබෙනු ඇතැයි සිහිනයෙකින් හෝ නොසිතූහ. ගෙවල් පිටුපස වැවුණ ගස්වල ගෙඩි ප‍්‍රසිද්ධ කිවි පළතුර බව හඳුනාගත් පසු එයට ලැබුණ වටිනාකම හිතා ගත නොහැකි බව සඳහන්ය.
චීනය මෙම කිවි ගස ආශ්චර්යයක් සේ සලකති. පළතුරු පමණක් නොව ඒවා යොදා වයින්ද නිපදවන අතර වියලි පළතුරුද අවාරයට වෙළඳපොළට එවති. නවසීලන්තය පුදුමාකාර වෘක්ෂය සේ හඳුන්වන අතර අරුණාචල් හි වැසියෝ වසර 2000 වන තෙක් එය නිසි සේ හඳුනාගෙන නොසිටියහ. කාබනික වගාව දියුණු කිරීම සමග ප‍්‍රධාන සමාගම් ඉඩම් සොයා අරුණාචල් වෙත ඇදී එමින් සිටින අතර ගොවි සංවිධාන සමඟ එකතු වී මහා පරිමාණයෙන් කිවි නිෂ්පාදනයට සූදනම් වන බව වාර්තා වෙයි. ගොවි සංවිධානය දක්වන පරිදි ගොවිහු 150 දෙනෙකු කාබනික වගාව යටතේ සහතික ලබා ඇති අතර එය ප‍්‍රධාන ආදායම් මාර්ගය බවට හරවා ගෙන තිබේ. අරුණාචල් ප‍්‍රාන්තයේ ස්වභාවික දිය ඇලි බහුලය. එහි ප‍්‍රන්ත බලධාරීහු මෙම දිය ඇලි වලට ටර්බයින සවිකර ජල විදුලිය නිපදවන සිහිනයක සිටියහ. පසුගිය වසරේ වාර්තා දක්වන පරිදි සමාගම් 42 ක් මෙම දිය ඇළිවල ආයෝජනය කර විදුලිය නිපදවන සැලැස්මක සිටිහය. දැනට එම අවශ්‍යතාව දෙවැනි තැනට පත්වී තිබේ. ප‍්‍රදේශයේ ආර්ථිකය කිවි පළතුරු වගාවෙන් ඉහළටම ගෙන එනන්ට හැකි වනු ඇතැයි පර්යේෂකයන් පෙන්වා දී ඇත.
ඉබේ වැවෙන, පළතුරු හැදී ගස් යට වැටී විනාශ වන අවස්ථා දකින හැම මොහොතකම අරුණාචල් ප‍්‍රදේශ් මතකයට එන සිද්ධියක් විය යුතුය. ශ‍්‍රී ලංකාව සරු සාර පසක් ඇති භූමියකි. කාලගුණය යහපත්ය. කෘෂි කාර්මික කටයුතු සම්බන්ධ දීර්ඝ ඉතිහාසයක් තිබේ. අපට නැත්තේ මොනවාද? ධෛර්යවන්ත මිනිසුන් පිරිසකට අහම්බෙන් ඇස ගැසෙන දෙයක් යස ඉසුරු වෙනුවෙන් යෙදවිය හැකිය. අලුතින් හිතන, අලුතින් ක‍්‍රියාකරන සමාජයක් අපට අවශ්‍යය. තීරණයක් ගන්නා අවස්ථාවේ විරුද්ධ වෙන, අලුත් යෝජනාවකට විරුද්ධව පාරට බහින ආත්ම ශක්තිය ඇති ජව සම්පන්න කණ්ඩායම් මෙරට ජනයාගේ හැකියාවව හා උනන්දුව සම්බන්ධයෙන් කැප විය යුතු මොහොත උදා වී තිබේ.
මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.
මිලින්ද මොරගොඩ