කොවිඩ් වෛරසයේ වසංගත තත්ත්වය හෙයින් ලෝකයේ සෑම රටක්ම පාහේ බලවත් දුෂ්කරතාවයකය. සමහර රටවල් හා නගර වසංගතයේ පළමු වටයේදී සම්පූර්ණයෙන් වසා දමන ලද අතර දෙවැනි රුල්ල ඉදිරියේ නැවතත් තද තීරණ ගනිමින් සිටින බව පෙනේ. කොවිඩ් වෛසරය පාලනය කරගත හැකි දිනයක් ගැන පැහැදිලි තත්ත්වයක් නැත. ලෝකයේ තිබුණ වේගවත් ගමන සීමා වී තිබේ. ආර්ථික සහ සමාජයීය වශයෙන් නිසොල්මන් වී ඇති අවස්ථාව අලුත් රාමුවකට අවතීර්ණ විය හැකි අවස්ථාවක් බව ප‍්‍රකාශ වෙයි.
ලෝක ප‍්‍රජාව සංවර්ධන ඉලක්කය අනුව වේගවත් ගමනක නිරත විය. තමන්ට අවශ්‍ය තාක්ෂණික හා විද්‍යාත්මක මෙවලම් නිපදවා ගත් අතර එහි දී සොබාදහමට එරෙහිව ක‍්‍රියා කරන ලද බවට චෝදනාවක් ඇත. මිහිමත වෙසෙන අනෙක් ජීවීන් හා පද්ධති කෙරෙහි අවම අවධානයක් යොමු කරන ලද අතර පවතින කාලගුණ විපත් එහි ප‍්‍රතිඵලයක් බව විද්වත්හු පෙන්වා දෙති. ඕසෝන් ස්ථරයට සිදුවන හානි හේතුකරගෙන ගෝලීය උණුසුම ඉහළ නැගෙමින් තිබේ. ද්‍රුව ආසන්නයේ ඇති අයිස් කඳු දියැවී සාගරයේ ජල මට්ටම ඉහළ නගින බව වාර්තා කර ඇත. ප්ලාස්ටික්, විෂ රසායන ඇතුළු වියෝජනය නොවන දේ මහ පොළවට එකතු වෙමින් පවතින අතර එය ඉතා භයානක අවස්ථාවක් බව පෙන්වා දී තිබේ. පරිසරය ගැන නොසිතන සංවර්ධනයකින් විපතට පත්වන අනාගත පරපුර ගැන අවධානය යොමු කළ යුතුය. අද උපත ලබන දරුවන් වෙනුවෙන් මිහිතලය ආරක්ෂා කළ යුතු අතර එය සම්බන්ධයෙන් විශාල වගකීමක් අද ජීවත් වන පරපුර සතු බව අවිවාදිතය.
පරිසරයට සිදුවන හානිය ගැන නොයෙක් වාර්තා ඉදිරිපත් කරන නමුත් එම අවදානම තේරුම්ගෙන ක්‍රියා කරන බවක් අවධාරණය නොවේ. නොබෝදා ලෝක ආර්ථික සංසදය වැදගත් කරුණු ප‍්‍රමාණයක් ඉදිරිපත් කළේය. දැන් මුහුණ දී ඇති කොවිඩ් වසංගත තත්ත්වය හෙයින් යම් ප‍්‍රමාණයකට වේගය අඩු වී ඇති ලෝක ආර්ථිකය පරිසරයට උචිත අන්දමට අලුතින් පණ ගැන්විය හැකි බව පෙන්වා දී තිබේ.
ලෝකයේ සංවර්ධනය, ආර්ථික සහ සමාජ ක‍්‍රියාකාරකම් ස්වභාවික පැවැත්මට තර්ජනයක් විය යුතු නැති අතර පාරිසරික සාධක සමඟ සමාන්තරව ගමන් කළ යුතුය. සාමාන්‍යයෙන් දැනට සිදුවන අන්දමට කර්මාන්ත හා ව්‍යාපාර පරිසරය ගැන එපමණ අවධානයක නැත. නිෂ්පාදනයේදී වෙළෙඳපොළ අවශ්‍යතා ගැන ඉලක්ක කරන අතර පරිසරයට සිදුවන හානිය නිසි තක්සේරුවක නැත. පරිසරයට හානියක් විය හැකි හෙයින් යම් යම් අංශ ගැන නැවත නැවතත් පරීක්ෂාකාරී වන බවක් පෙනෙන්නේ නැත. නීති හා ප‍්‍රතිපත්ති සකස් කරන නමුත් පාරිභෝජනය වෙනුවෙන් කරන සැපයුම අඩාල කරන තීරණ ගන්නට වෙළෙඳපොළ සූදානමක නැත. එම ක‍්‍රියා පටිපාටිය දිගින් දිගටම පැවැතිය යුතු නැත. ජෛව විවිධත්වයට බරපතල හානි සිදුවන අතර නොයෙක් ජීවි විශේෂ සහමුලින්ම වඳ වී යන තර්ජනයයක් පවතී. ඇමේසන් වනාන්තරයට හා කොරල් පරවලට සිදුවන හානි ඒ අතර ප‍්‍රබලය. ලෝක නිෂ්පාදනයෙන් හරි අඩක් පමණ සිදුවන ආකාරය අනුව පරිසරය අනාරක්ෂිත බව පර්යේෂකයන් පෙන්වා දී තිබේ. මේවා ආපසු හරවන්නට අප සියලු දෙනාටම බලවත් වගකීමක් ඇත.
ලෝක ආර්ථික සංසදය අවධානයට ලක් විය යුතු කරුණු තුනක් පෙන්වා දී තිබේ. ආහාර නිපදවීම, ඉඩම් පරිහරණය හා සාගරය භාවිත කරන ආකාරය ගැන නැවත හිතා බලන්නට අවශ්‍ය බව පළමු කරුණය. යටිතල පහසුකම් දියුණු කිරීමේදී පරිසරයට එකඟ වන පරිදි හැසිරවීම දෙවැනි කරුණකි. බලශක්තිය උත්පාදනය කරන පිළිවෙළ හා භාවිත කරන අන්දම ගැන තීරණ ගත යුතු වීම තෙවැනි කරුණ වශයෙන් පෙන්වා දී ඇත. මෙකී අංශ තුන ලෝක ආර්ථික කටයුතුවලින් තුනෙන් එකක් වන අතර එම ක්ෂේත‍්‍රවලින් ලෝකයේ දැනට රැකියාවෙහි නිරත සෑම තුන් දෙනකුගෙන්ම දෙදෙනකු නිරත බව ප‍්‍රකාශ වෙයි. තුනෙන් දෙකක් රුකියා කරන හා ආර්ථිකයේ තුනෙන් එකක් වගකියන අංශ තුනක සිදුවන බලපෑම පාලනය කිරීම බලවත් වෙහෙසක් දැරිය යුතු තත්ත්වයකි. ලෝකයේ පවතින වත්මන් ස්වභාවය පරිසරය ආරක්ෂා කරන පියවරක් කරා වහාම පරිවර්තනයකට අවකාශයක් තිබේද? ප‍්‍රායෝගිකව ඉතා අපහසුය. එහෙත් පරිසරය ගැන නොසිතන සංවර්ධනයකින් පලක් නැති තැනට ජාත්‍යන්තරය පැමිණ සිටී.
විද්වතුන් කරුණු දක්වන අන්දමට අවධානයට ගත යුතු කරුණු පහළොවක දීර්ඝ සැලැස්මක් ප‍්‍රකාශයට පත්ව තිබේ. මෙම සැලැස්ම එකම නොවේ. ලෝකයේ නොයෙක් රටවල් සහ සංවිධාන එකිනෙකට වෙනස් පියවර යෝජනා කරන අතර මුලින් දක්වන කරුණු ඒවා අතර එක පාර්ශවයක් පමණකි. එයට අනුව කෘෂිකාර්මික කටයුතු ගැන නැවත අලුතින් පිළිවෙළකට යා යුතු අතර පරිසරය ගැන හිතන නිෂ්පාදන පියවරක් විය යුතුය. නගර නිර්මාණයේදී හුදෙක් වනාන්තර හා පරිසරය ගැන නොතකන පියවරවලට යා යුතු නැත. අධිවේගී මාර්ග හෝ දුම්රිය මාර්ග ගොඩනගනවිට පරිසරයට උචිතව තීරණ ගැනීම අවශ්‍යය. මෙම කරුණු 15 කින් සමන්විත සැලැස්ම සමඟ නොයෙක් අපහසුතා සහ ව්‍යාපාර හා කර්මාන්තවලට බාධා සිදුවන්නට ඉඩ තිබේ. නීති හේතුවෙන් ජනතාව වික්ෂිප්ත වනු ඇත. පාලනය කරන තත්ත්ව හමුවේ ජනතාව විරෝධය පළ නරනු නිසැකය. එය නැවත වටයකින් ලෝකයේ සමාජ දේශපාලන ව්‍යූහය අවුල් කරන ස්වභාවයක් විය හැකිය. කෙසේ වෙතත් පරිසරයට උචිත තීරණ ගෙන කරන නිෂ්පාදන හා කර්මාන්ත ක‍්‍රියාපටිපාටියකදී අලුත් ව්‍යාපාර ටි‍්‍රලියන 10.1 ක් දක්වා බිහිවනු ඇති බව දැක්වෙයි. එය ඔස්සේ ශ‍්‍රම බලකාය වෙනුවෙන් නවතම රුකියා අවස්ථා මිලියන 395 ක් බිහිවනු ඇති බව ගණන් බලා තිබේ. අලුත් පරිසර හිතකර තත්ත්වවලට නැඹුරු වීමෙන් ගොඩනැගෙන මෙම ව්‍යූහය මහපොළවම අලුතින් තනනු ඇත.
මහ පොළව සහ ජෛවයේ පැවැත්ම නැවත ගොඩනගන මෙම ක‍්‍රියාවලිය හුදෙක් ආණ්ඩුවලට හෝ රජයට අයත් ආයතනවලට පමණක් කළ හැකි දෙයක් නොවේ. පෞද්ගලික අංශයට ද වගකීමක් ඇත. මහජනතාව වශයෙන් අප සියලුම දෙනා එවැනි පියවරවලට නැඹුරු විය යුතුය. වෙළෙඳපොළට එන නිෂ්පාදනයක් පරිසරයට හානිකර කරන නිපැයුමක් ද යන්න සොයා බලා අඩුම තරමින් පරිභෝජනයෙන් වැළකෙන හෝ පියවරකට යා යුතුය. ලෝකයේ සෑම රටකම ජනයා, විශේෂයෙන් තරුණ පෙළ පරිසරය ආරක්ෂා කරන පැවැත්ම ගැන හිතන සංස්කෘතියකට ඇතුළු වෙමින් සිටී. එය අගය කළ යුතු අතර ඔවුන්ගේ හඬට අවනත වීම වැදගත් බව අවධානයට ගත යුතුය.
මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.
මිලින්ද මොරගොඩ