2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා

අතීත උරුමය ඉල්ලන සටන ඉදිරියේ නෙදර්ලන්තයේ තීරණය

 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 96

ලංකාව යටත් කරගත් බ්‍රිතාන්‍ය ජාතිකයෝ අවසන් පාලකයා වූ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු සිර භාරයට ගත්හ. රාජසිංහ රජුගේ සිංහාසනය, ඔටුන්න ඇතුළු රාජකීය සංකේත සෑහෙන ප‍්‍රමාණයක් බ්‍රිතාන්‍යයට ගෙන ගියහ. එම සිද්ධියට පෙර හා පසු මෙරටින් රුගෙන ගිය කෞතුක වස්තු, සිහිවටන යනාදිය සවිස්තරාත්මකව සොයා ගැනීමට පුළුවන්කමක් නැත. බ්‍රිතාන්‍ය පමණක් නොව පෘතුගීසි හා ලන්දේසි පාලන කාලයේ දී ද නොයෙක් පුරාවස්තු රුගෙන ගොස් ඇති බව කියැවෙයි. බටහිර ජාතීන් පමණක් නොව ඉන්දියාව, මැදපෙරදිග රටවල් හෝ චීනය සතුව ශ‍්‍රී ලංකාවට අයත් දේ ආරක්ෂා කරගෙන ඇති බවට සැකයක් නැත. 

ඉතිහාසය පෙන්වා දෙන පරිදි නොයෙක් අවස්ථාවල රටට අයත් ඓතිහාසික වටිනාකමක් ඇති දේ ආපසු භාර දී තිබේ. පස්වැනි ජෝර්ජ් රජුගේ කැමැත්ත ඇතිව ග්ලූස්ටර් ආදිපාදවරයා 1934 වසරේදී ශ‍්‍රී වික‍්‍රම රජුගේ ඔටුන්න හා සිංහාසනය ලාකාවට නැවත භාර දී තිබේ. එය ආදිපාදවරයා මෙරට සංචාරය කිරීම නිමිති කරගෙනය. නිදහස ලබන විට උරුමයේ වැදගත්ම සංකේතයක් ආපසු ලබාගන්නට ලාංකිකයෝ සමත් වූහ. ලෝකයේ නොයෙක් තැන්වලින් වාර්තා වන පරිදි එක යුගයක යටත්ව සිටි කාල වකවානුවේ අහිමි වූ කෞතුක වස්තු නැවත ආපසු ඉල්ලන සටනක් ආරම්භ වී තිබේ. සෑහෙන කාලයක් පුරා ලෝකයේ විවිධ තැන්වලින් ස්වකීය උරුමය සම්බන්ධ මතවාද හටගෙන තිබුණි. අපි‍්‍රකානු සහ ආසියානු කලාප ඒ අතර ඉදිරියෙන් සිටී.

උරුමය ඉල්ලා කරගෙන ගිය සටන එක්තරා තීරණාත්මක තැනකට පැමිණ තිබේ. නෙදර්ලන්තයේ ප‍්‍රසිද්ධ කෞතුකාගාර දෙකක් තමන් සතු එහෙත්, වෙනත් රටවලට අයත් පෞරාණික දේ ආපසු භාරදෙන්නට තීරණය කර ඇත. නීත්‍යානුකූල ක‍්‍රමවේදයක් සකස් කළහොත් ලක්ෂයක පමණ භාණ්ඩ ප‍්‍රමාණයක් ආපසු දෙන බව එම කෞතුකාගාර ප‍්‍රධානීහු ජාත්‍යන්තර මාධ්‍යයට පැවසූහ. එය ඉතා වැදගත් සඳහනක් බවට පත්ව ඇත. 

රටවල් යටත් කරගෙන සිටි අධිරාජ්‍යවාදීහු එම රටවල නටබුන්, චිත‍්‍ර, ස්මාරක හා පැරණි කෘති රුගෙන ගියහ. මෙසේ රුගෙන ගිය සමහර ඒවා පොදු ස්ථානවල ප‍්‍රදර්ශනය කරනු ලබයි. තවත් කොටසක් පෞද්ගලික අයිතියක් හෝ ආයතනවල වත්කම් වශයෙන් පවතී. වෙනත් රටවල් අයිති කරගෙන සිටින තම ඓතිහාසික හා සංස්කෘතිත මෙවලම් ගැන ශෝක වන අලුත් පරපුර ඒවා ආපසු ඉල්ලා සිටිති. එය බලහත්කාරකමක් වශයෙන් අද නිර්වචනය කෙරේ. 

නෙදර්ලන්තය නොඑසේ නම් ලන්දේසී ජාතිකයන් රටවල් යටත් කරගත් බලවත් ජාතීන් අතර එක කොටසක් පමණකි. පෟතුගීසි සහ ඉංග‍්‍රීසි ජාතිකයන් පමණක් නොව පෙරදිග හා අපරදිග බලවත් රටවල් ද වෙයි. ශ‍්‍රී ලංකාවට අයත් ඉතා වටිනා පුරාවස්තු හා ලිපි ලේඛන සෑහෙන ප‍්‍රමාණයක් යටත් විජිත කාලයේ අධිරාජ්‍යවාදීන් අයිති කරගෙන ඇති බව නොරහසකි. අපට අයත් උරුමය නැවත රටට අවශ්‍ය බව නොයෙක් වර ප‍්‍රකාශ කර ඇති නමුත් නොයෙක් හේතු අනුව ඇතැම් දේ ලැබී නැත. සංකේතාත්මකව සමහර දේ නිල වශයෙන් භාර දී තිබේ. මුලින් දක්වන ලද ඔටුන්න හා සිංහාසනය එයින් එකකි. අතීත උරුමයේ කොටස් ආපසු ලැබිය යුතු බව අවිවාදිතය. එහෙත් ඒවා ආපසු ලබාගැනීමට සකස් විය යුතු ක‍්‍රමවේදය ඉතා සංකීර්ණය.

අතීත උරුමය ඉල්ලාගෙන යන සටන අවසානයේ කෞතුක භාණ්ඩ අයිතිකර ගැනීම පමණක් වැදගත් නැත. ඒවා මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගැනීමට ද නිසි වැඩපිළිවෙළක් තිබිය යුතුය. පැරණි දේ ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් අද රට තුළ විශාල සාකච්ඡාවක් තිබේ. පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන ගැන අවධානය යොමු වී ඇත. වටිනා භාණ්ඩ ගැන සංවාදයක් තිබේ. විමර්ශනය කරන විට නොයෙක් ස්ථානවල කෞතුක වටිනාකමක් ඇති දේ තිබේ. ආරක්ෂා කර ගත යුතු දේ රකින පිළිවෙල සම්පූර්ණයෙන්ම සාර්ථක යැයි සඳහන් කරන්නට නොහැකිය. වටිනා ලිපි ලේඛන, පුස්කොළ පොත්, චිත‍්‍ර සහ ශිලා ලේඛන ඇතුළු දහසකුත් දේ නිසි සේ සංරක්ෂණය නොවෙන බව පෙනේ. වෙනත් රටක බලවත් පරිශ‍්‍රමයකින් ආරක්ෂා කරන දෙයක් නැවත ලබා ගැනීමෙන් පසු එවැනිම අවධානයකින් රුකබලා ගන්නට ඒවා ඉල්ලන රටවලට හැකියාවක් තිබේද යන්න ප‍්‍රශ්නයකි. දැනට අයිති කරගෙන ඇති රටවල් එසේ නොකළේ නම් මෙම සඳහන් කරන වටිනාකමක් ඇති දේ වලට අත්විය හැකිව තිබුණු ඉරණම ද කනගාටුදායක වෙන්නට ඉඩ තිබුණු බව අමතක කළ යුතු නැත. විශේෂ ලැදියාවක් තිබුණු පිරිස් මේවා රුගෙන ගොස් මතු පරපුර වෙනුවෙන් රුකබලාගෙන ඇති බව දැක්විය යුතුය. අයිතිය පමණක් නොව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ද කෘතවේදී වීම සුදුසුය.

ඉතිහාසය අනාවරණය කර ගැනීම හා ආරක්ෂා කිරීම විශේෂ විෂයයකි. ඉතිහාසයට අයත් වැදගත් දේ රුකබලා ගැනීම පහසු කාර්යයක් නොවේ. නොයෙක් රටවල් විශාල ප‍්‍රයත්නයක නිරතය. විශාල ධනයක් හා ශ‍්‍රමයක් වැය කළ යුතුය. බ්‍රිතාන්‍යයේ කෞතුකාගාර නඩත්තුවට ගෙන යන පියවර එයට දැක්විය හැකි එක උදාහරණයකි. බ්‍රිතාන්‍ය රජය කරන වියදම පමණක් ප‍්‍රමාණවත් නැත. පෞද්ගලික පරිත්‍යාගවලට අමතරව විශේෂ ලොතරුයියක් පවත්වාගෙන යයි. එයින් උපයන ධනය අරමුදලකට බැරවන අතර කෞතුකාගාර නඩත්තුවට එම මුදල් වැය කෙරේ. කෞතුකාගාර, පුස්තකාල හා ලේඛනාගාරවල ඇති ඉතා වටිනා දේපළ එම මුදල් වැය කර ආරක්ෂා කෙරේ. ලොතරුයි දිනුමකින් වාසි ලබන තරමටම එයින් සැලසෙන සමාජයීය යුතුකම ගැන විශාල උනන්දුවක් බ්‍රිතාන්‍යයට තිබේ. නෙදර්ලන්තය ගෙන ඇති පියවර ලෝක අවධානයට යොමු වී ඇත. කෞතුකාගාර දෙකක් නම් කර ඇති ලක්ෂ ගණනක පැරණි දේ අතර තමන්ගේ උරුමය තිබේදැයි විමසිලිමත් වෙයි. සමහර රටවල් ස්වකීය උරුමය නැවත ලබාගැනීමේ ප‍්‍රයත්නයක නිරතය. මෙවැනි අලුත් ප‍්‍රවණතා සම්බන්ධව අවධානය යොමු කිරීම සුදුසුය. අතීතය සොයා පියවර ගැනීම පමණක් නොව පවතින දේ ආරක්ෂා කර ගැනීමට අනුගමනය කරන පියවර එයටත් වඩා වැදගත්ය.
මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.        

I මිලින්ද මොරගොඩ