2020 ජුලි 11 වන සෙනසුරාදා

තනතුරුවලින් අයුතු ප‍්‍රයෝජන ගැනීමේ වරද

 2020 ජුලි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 284

මහ මැතිවරණ උණුසුම ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් තිබේ. මැතිවරණ කොමිසම සර්ව සාධාරණ මහ මැතිවරණයක් පවත්වන අරමුණ ඇතිව සිටී. පවතින ක‍්‍රමය තුළ එය  ඉතා දුෂ්කර කර්තව්‍යයකි. මැතිවරණ කොමිසමට හෝ නීතිය ආරක්ෂා කරන නිලධාරීන්ට පමණක් සාධාරණ මැතිවරණයක් පවත්වන්න හැකියාව නැත. තරග කරන අපේක්ෂකයන්ට ද වගකීමක් තිබේ. නීතියට අනුව හෘද සාක්ෂිය ඉදිරියෙන් තබා මැතිවරණයට මුහුණ දිය යුතුය. නීති සම්පාදනය කර යුක්තිගරැක සමාජයක් නිර්මාණය කරන බලය මහජන නියෝජිතයන්ට ලැබේ. බලයට පත්වීමේදී නීති නොසලකා ක‍්‍රියා කිරීම ප‍්‍රශ්නයකි.

පක්ෂ තුළ පවා පවතින ඇතැම් පුද්ගල ගැටුම්වලට හේතුව මනාප ක‍්‍රමය බව තේරුම්ගත හැකිය. අපේක්ෂකයෝ අති විශාල මුදලක් වියදම් කරන අතර තවත් අනුගාමිකයන් පිරිසක් පිරිවරාගෙන ඡන්දයට ඉදිරිපත් වෙති. ශ‍්‍රී ලංකාවේ මැතිවරණ ක‍්‍රමය ඉතාම තියුණුය. ජයගැනීමට අප‍්‍රමාණ වෙහෙසක් ගත යුතුව තිබේ. මැතිවරණ කාලය තුළ පමණක් විනයානුකූල වීම ප‍්‍රමාණවත් නැත. පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පසු වඩාත් නිවැරදිව හැසිරෙන්නට අවශ්‍යය. මැතිවරණ සටන ගැන පමණක් නොව පාර්ලිමේන්තුවේදී ඉටුකරන මෙහෙවර ගැන ද අලුතින් හිතන්නට අවශ්‍යය.

ඡන්ද වේදිකාවේදී ජනතා නියෝජිතයන්ගේ දූෂණ වංචා ගැන යහමින් අදහස් මතුවෙයි. මේවායේ සත්‍ය කරැණු තිබෙන්නට බැරි නැත. අසත්‍ය මතු වන අවස්ථා ද තිබේ. එකිනෙකාට චෝදනා කිරීම බහුලය. පක්ෂ අතර පවතින ගැටුම් හේතුවෙන් විශාල චෝදනා මහජනයා ඉදිරියේ තබයි. පුවත්පත් සාකච්ඡා පවත්වන අතර මාධ්‍ය ප‍්‍රචාරය ලැබේ. ඡන්ද අවසන් වීමෙන් පසු අවුලවන ලද ගිනි දැල් නිවේ. සමහර ගිනි පුළිඟු අළු යට පවතින අතර නැවත නැවතත් මැතිවරණවලදී අවුලුවා ප‍්‍රයෝජනයට ගැනෙන බව දක්වන්නට අවශ්‍යය.

චෝදනා එල්ල කරනු වෙනුවට නීතිය ඉදිරියට සැක සහිත සිද්ධි සම්බන්ධයෙන් නඩු පැවරිය හැකිය. ජනතා වරමෙන් බලයට පත් වන නියෝජිතයෝ මහජන මුදල් අවභාවිතාව ගැන පරෙස්සම් විය යුතුය. චෝදනා වෙනුවට අධිකරණ ක‍්‍රියාමාර්ගයකින් තීරණය ගත හැකිය. ප‍්‍රංශයේ හිටපු අගමැතිවරයාට එරෙහිව ලැබුණ අධිකරණ තීන්දුව එයට හොඳ උදාහරණයකි. අගමැති ෆැන්කෝසි ෆිලන්ගේ දේශපාලන කටයුතු වසර දහයකට තහනම් කර ඇත. ඔහුගේ බිරිඳට ද අත්හිටවූ සිරදඬුවම් නියම කර තිබේ. ප‍්‍රංශ අධිකරණ තීරණය ජාත්‍යන්තර අවධානයට ලක් වූ කරැණකි. මැතිවරණ උණුසුම මැද එය අපට හොඳ පාඩමකි.

ප‍්‍රංශ අධිකරණයේ විභාග වූ නඩු වාර්තාව අනුව අගමැති පදවියට පත් ෆැන්කෝසි සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට ඔහුගේ බිරිඳ බඳවාගෙන තිබේ. එහෙත් ඇය විශේෂයෙන් පවරන ලද රාජකාරියක නිරත වී නැත. අගමැති බිරිඳ පෙනිලෝප් තමන් අගමැති කාර්ය මණ්ඩලයේ සාමාජිකාවක වශයෙන් වැටුප් හා වරප‍්‍රසාද ලබා ගන්නා නමුත් විශේෂ සහායක් නොදක්වන බව එක්තරා අවස්ථාවක ප‍්‍රකාශ කර තිබුණි. එය පදනම් කරගෙන හිටපු අගමැතිවරයාට විරුද්ධව නඩු පවරා තිබේ. අධිකරණය මෙම යුවල වරදකරැවන් බව තීරණය කර ඇත. මහජන මුදල් අවභාවිතා කරන ලද බව සැකයකින් තොරව පිළිගෙන තිබේ. හිටපු අගමැතිවරයාට වසර පහක් හා ආර්යාවට වසර තුනක් සිර දඬුවම් නියම කර ඇත. දඬුවම වසර තුනකට අත්හිටුවා තිබේ. යුරෝ මිලියනයක දඩයක් නියම කර ඇති අතර රජයෙන් ගත් වැටුප් ආපසු ගෙවන සේ නියම කර තිබේ. එයට අමතර වශයෙන් හිටපු අගමැතිවරයාට වසර දහයකට දේශපාලනය කිරීම තහනම් කර ඇත.

ප‍්‍රංශ ක‍්‍රමය අනුව පෞද්ගලික කාර්ය මණ්ඩලයට පවුලේ සාමාජිකයන් බඳවාගැනීම වරදක් නොවේ. එහෙත් ජනතාව ගෙවන බදුවලින් නඩත්තු වන බව අමතක කළ යුතු නැත. ලබා ගන්නා වැටුපට සරිලන පරිදි රටට සේවය කළ යුතුය. මහජන මුදල් අවභාවිතා කරන ලද පළමු වැනි මහජන නියෝජිතයා ප‍්‍රංශයේ හිටපු අගමැතිවරයා නොවේ. ලෝකයේ මෙවැනි සිදුවීම්වල අවසානය මෙය නොවෙනු බව සැකයක් නැත.

මහජන මුදල් පරිහරණයේදී ප‍්‍රවේසම් විය යුතුය. ජනතා නියෝජිතයන්ට එහි වගකීමක් තිබේ. පෞද්ගලිකව පරිහරණය කිරීම වරදකි. ජනතාව උපයන්නේ පහසුවෙන් නොවේ. නොයෙක් දුක් ගැහැට මැද හරි හම්බකරන දෙයින් කොටසක් රජය බදු වශයෙන් අය කර ගනී. බදු ගෙවන සීමිත පිරිසක් රට තුළ සිටින අතර දුප්පත් ජනී ජනයා එදිනෙදා කන බොන, අඳින පළඳින හා පරිහරණය කරන සියලුම දෙය මිල දී ගැනීමේදී වක‍්‍රව බදු ගෙවයි. එම මුදල් තමන්ගේ පවුලේ අයට රස්සාවල් දෙන්නට වියදම් කිරීම නුසුදුසුය. ඡන්දයට එන්නට කලින් සාමාන්‍ය ජීවිත ගත කළ අපේක්ෂකයෝ තනතුරැ ලැබුණ පසු තරැ හෝටල්වල, සුඛෝපභෝගී ජීවිත ගත කරන තැනට පත් විය යුතු නැත. ශ‍්‍රී ලංකාව ප‍්‍රංශයට සම කළ යුතු නැත. ප‍්‍රංශයට වඩා දුප්පත් රටකි. සාමාන්‍ය පුද්ගලයන් වශයෙන් දේශපාලනයට ඇතුළු වන ඇතැමුන් පසුව වැජඹෙන්නේ මහ ඉහළින්ය. මහජන මුදල් පරිහරණය ඉදිරියේ කිසිම විලි ලැජ්ජාවක් නැත. අමාත්‍යංශවල සුඛවිහරණය ඇමැතිවරැන්ට පමණක් සීමා වී නැත. නිලධාරීහු පවා අසීමිත වරප‍්‍රසාද භුක්ති විඳිති. මැති ඇමැතිවරැන්ට ලැබෙන නිල වාහන, කාර්ය මණ්ඩලය, කාර්යාල පහසුකම් සහ අවසානයේදී විශ‍්‍රාම ජීවිතයේදී ලැබෙන වරප‍්‍රසාද මෙරට දහඩිය හෙලන ජනතාවගේ දුක හා කඳුළු බව පෙන්වා දිය යුතුය. ප‍්‍රංශයේ අධිකරණ ක‍්‍රියා මාර්ගය පාඩමක් කරගත යුතු අතර එළැඹෙන මහ මැතිවරණයෙන් පසු රට වෙනස් කරන්නට නම් අලුත් පැවැත්මක් ගැන අවධානය යොමු කරන අරපිරිමැස්ම වැදගත්ය. මහජන නියෝජිතයන් ආදර්ශවත් විය යුතුය. 

මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.

මිලින්ද මොරගොඩ

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00