2020 මාර්තු 07 වන සෙනසුරාදා

ශබ්ද දූෂණය ගැන අවධානයක්

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 643

පරිසරය ආරක්ෂා කරගැනීම ගැන අපට මහත් අවධානයක් තිබේ. පරිසර දූෂණයට එරෙහිව ජන මතය නැගී එන බව නිරීක්ෂණය කළ හැකිය. පරිසරය ආරක්ෂා කරගතහොත් පැවැත්ම තහවුරු වන බව හිතන්නට ජනතාව නැඹුරැ වී තිබේ. එය ඉතා අගය කළ යුතුය. පරිසරය ආරක්ෂා කරගෙන මානව අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමට ඇති හැකියාව ගැන අද පුළුල් සාකච්ඡාවක් තිබේ. අහිමි කරගත් දේ ගැන විවාදය පැත්තක තබා පවතින ජෛව විවිධත්වය ආරක්ෂා කරගැනීමට බලවත් සටනක් ඇත. ආණ්ඩු, ආණ්ඩුවලට අයත් සංවිධාන අභිබවා ජනතා බලය මෙහි දී කැපී පෙනේ.

මුම්බායි නගරය ඉතාම ජනාකීර්ණ තැනකි. ලෝකයේ වඩා ජනාකීර්ණ නගර ලැයිස්තුවේ හතරවැනි තැන ගෙන ඇත. එහි වීදිවල නොරිස්සුම්කමකින් ගමන් කරන වාහනවලින් නැගෙන ශබ්දය මහත් හිරිහැරයක් බව වාර්තා සඳහන් කරයි. තදබදයේ හිරවෙන වාහන පදවන රියැදුරෝ නොඉවසිල්ලෙන් මහත් හඬ නගා නලා හඬවති. එය තේරුමක් නැති දෙයක් නමුත් වෙන කරන්නට දෙයක් නැති තරමට තදබදය දරුණු වී ඇත. එය මුම්බායිහි වැසියන්ට මානසික හිරිහැරයක් වූ අතර සෞඛ්‍ය ප‍්‍රශ්න පවා උත්සන්න කර ඇත.

ජාත්‍යන්තර සංවිධාන පෙන්වා දෙන පරිදි ඉන්දියානු වාහනවලින් නිකුත් වන ශබ්දය අනෙක් රටවල වාහනවල ශබ්ද අභිබවයි. විශේෂයෙන් නලාවල තරම අනුමත ඩෙසිබල් ප‍්‍රමාණය ඉක්මවා යන අවස්ථා ද වාර්තා විය. මෙම වාහන ශබ්ද හා නලාවලින් ඇති කරන හිරිහැරය ඉවසා ගත නොහැකි වූ තැන මුම්බායි පොලිසිය ඒ ගැන තදින් ක‍්‍රියා කර ඇත. නගරයේ තැනින් තැන සංඥා සවි කළ අතර වාහනවලින් නිකුත්වන ශබ්ද හඳුනාගෙන ඒවායේ ඩෙසිබල් ප‍්‍රමාණය මැන වහා වාර්තා කළේය.  

ඉන්දියන් තාක්ෂණික ආයතනය වාහනවල ක්‍රියාකාරීත්වය හා ඒවායෙන් පිටවන ශබ්ද ගැන අවධානයෙන් සිටි අතර එරට ශබ්ද දූෂණ මර්දන දෙපාර්තමේන්තුව වහා නීති පනවා තාක්ෂණය හඳුන්වා දුන්නේය.

ජී.පී.එස්. හා ඩෙසිබල් මීටර්
මුම්බාහි තත්ත්වය ගැන සලකා තෝරා ගත් වාහනවලට ජී. පී.එස්. තාක්ෂණික මෙවලම් සවිකළ අතර ස්ථානීය හඳුනාගැනීමේ මෙවලම් සමඟ ශබ්දය මැන බලන උපකරණ එකට යා කළේය. මේවායෙන් දුර සිට වාහනවල තත්ත්වය මැන බැලූ අතර විශේෂයෙන් බර වාහන හා බස් රථවල හැසිරීම බලා අධිකරණ ක‍්‍රියාමාර්ගවලට අවතීර්ණ විය. එය සෑහෙන දුරට ප‍්‍රතිඵල අත්කර දී තිබේ. මුම්බායි නගරයේ මහ පාරේ වාහන හසුරුවන පොලිස් නිලධාරීහු වරින් වර ස්වයංක්‍රීය ශබ්ද මීටර් දෙස බලන අතර ඒවා නියාමනය කරන පොලිස් මැදිරි ද පිහිටුවා තිබේ.  

නීතිය තදින් ක‍්‍රියාවට නංවන අතර වැරදි කරන පුද්ගලයන් තෝරා ගැනීම සඳහා නිසි ක‍්‍රමවේද හඳුන්වා දීමෙන් පසු තත්ත්වය බොහෝ දුරට යහපත් වෙමින් පවතින බව මුම්බායි නගරයෙන් ලැබෙන වාර්තා දක්වයි. බස් රථය තුළ සවිකරන ලද උපකරණවල දත්ත බස් අයිතිකරැවන්ට, මගීන්ට සහ නිලධාරීන්ට ද නිරීක්ෂණය කළ හැකි වන අතර එය නීතිය අභිබවන ස්වයං නියාමනයක් දක්වා වර්ධනය වී ඇති බව දැක්වෙයි.

ශබ්ද පාලනය ගැන ජාත්‍යන්තර අදහස්
නිස්කලංක බව ලෝකයේ පැවැත්ම හමුවේ ප‍්‍රමිතියකි. රටවල් දියුණු වනවිට කර්මාන්ත පිහිටි කලාප වෙනම ස්ථාපිත කරයි. හේතුව ඒවායේ නිෂ්පාදන යන්ත‍්‍රවල අධික ශබ්දය ජන ජීවිතයට අහිතකර හෙයිනි. වාණිජ කලාප, ජනී ජනයාගේ නේවාසික ප‍්‍රදේශ හා රෝහල්, විවේකස්ථාන හා අධිකරණ වැනි ස්ථාන පිහිටුවා ඇති තැන්වල නිහඬතාව ආරක්ෂා කරගැනීමට පියවර ගෙන ඇත.

සිංගප්පූරැවේ නැන්යැන්ග් තාක්ෂණික විශ්ව විද්‍යාලය අධික ශබ්දය පාලනය කළ හැකි නව මෙවලමක් නිෂ්පාදනය කර තිබේ. එය නිවාසවල පිටතින් සවිකළ විට ජනේල හො දොරවල් විවෘත කර තබන නමුදු ශබ්දය සියයට පනහකින් කපා හැරිය හැකි බව පර්යේෂණවලදී සනාථ වී තිබේ. අධික වාහන ගමන් කරන නාගරික ප‍්‍රදේශවල හෝ කර්මාන්ත කලාපවලට එය මැනැවින් ගැලපෙන සොයාගැනීමක් වී ඇති බව වාර්තා දක්වයි. මෙම මෙවලම දැනට අත්හදා බලන මට්ටමක ඇති අතර සුළු විදුලියක් භාවිත කරන හා ශබ්දය මනින උපකරණයකින් ද සමන්විත බව දැක්වෙයි.

ශබ්දයෙන් ඇති කරන හිරිහැරය
ශ‍්‍රී ලංකාවේ වාහන ශබ්ද පාලනය කරන ක‍්‍රම තවම නැත. රෝහල්, පාසල් හා අධිකරණ අසල නලා ශබ්ද නොකරන සේ සංඥා පුවරු සවිකර තිබේ. අවිනීත රියැදුරෝ ඒ ගැන තකන්නේ නැත. කලකට පෙර මහ පාරේ වාහන ධාවනය කරන රියැදුරෝ එක අතකින් නලාව අල්ලාගෙන ධාවනය කිරීම සාමාන්‍ය සිද්ධියක් වී තිබුණි. අනෙකා හඹා යන අරමුණ ඇති විනයක් රහිත රියැදුරෝ වාහනය ධාවනය කරන්නේ නලාවෙන්ය. අද එම පීඩනය තරමක් අඩුය. මෑතක දී පොලිසිය අධික ශබ්ද නගන වාහන නලා සවිකර ඇති වාහන ගැන අවධානයෙන් සිටියේය. අධික ශබ්දය පතුරවන සංගීත වාදන උපකරණ සවිකර ඇති පොදු ප‍්‍රවාහන සේවා ගැන පරීක්ෂාකාරීව සොයා බැලීය. එහෙත් එය තවමත් කෙළවරක් දැක නැත.

මහා මාර්ගයේ විදුලි සංඥා එළි අසල නතර වන වාහනපෙළක සුළු ප‍්‍රමාදයකින් අධික තැති ගැන්මක් ඇතිකරන සේ නලාව නාද කෙරේ. බස් රථ කරන්නේ සාමාන්‍ය වාහන පන්නා තමන් මහ පාර අයිති කරගන්නා උපක‍්‍රමයක් වන අතර, එන්ජිම වේගයෙන් ක‍්‍රියාත්මක කර නලාව හැඩවීමෙන් මහපාර දෙවනත් කර සිය අයිතිය තහවුරු කරගනී. මේවා සම්පූර්ණයෙන් පාලනය කර ගැනීමට හැකියාවක් නැත. ශබ්ද දූෂණය කාර්මීකරණයේ ප‍්‍රතිඵලයක් වන අතර රට හා සමාජය දියුණු වනවිට එය කිසියම් පාලනයකට යටත් වෙයි. 

දුප්පතුන් පෙළන ශබ්දය
ලෝකයේ විවිධ සංවිධාන ශබ්ද දූෂණය අවම කරන සේ බල කරන්නට පටන් ගෙන තිබේ. සංවර්ධනය අවශ්‍ය අතර නිහැඬියාව ඉතාවැදගත් බව ඔවුහු අවධාරණය කරති. එයින් වන සෞඛ්‍ය ප‍්‍රශ්න ඉතා දරුණු බව පෙන්වා දී තිබේ. ශබ්ධ දූෂණයෙන් වැඩිම පීඩාව එල්ල වන ජන කොටස දුප්පතුන් බව සමීක්ෂණවලදී හෙළි වූ කරුණකි. සමහරවිට සුළු ජන කොටස් එනම් හඬක් නැති ජනතාව වඩාත් හිරිහැරයට පත්වන බව ද ප‍්‍රකාශ වෙයි. මේවා ගැන අලුතින් හිතන්නට අවශ්‍යය. අලුත් පර් යේෂණ සිදුවන අතර ශබ්ධය පාලනය කරනු ස`දහා විවිධ පියවර ගැනෙමින් තිබේ. දියුණුවන රටකට මෙම පැති ගැන අවධානයක් අවශ්‍යය.  

මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.
► මිලින්ද මොරගොඩ