2019 ජනවාරි 12 වන සෙනසුරාදා

එක වතාවක් හෝ අඳින්නේ නැති ඇඳුම්

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 44

‘‘එයා හරි මොස්තරකාරියක්’’ යන හැඳින්වීමක් කවදා, කොතැනක දී හෝ කියැවුණා වෙන්නට බැරි නැත. මෝස්තරකාරියක් යන වචනය තුළ අර්ථ ගණනාවක් තිබේ. ඇඳුම් පැළඳුම් සෑහෙන ප‍්‍රමාණයක් අඳින පළඳින අදහස ද ඇත. මෝස්තරකාරියක් යනුවෙන් සඳහන් කළ පමණින් එය කාන්තාවන්ට පමණක් සීමා වී නැත. මෝස්තරකරුවෝ ද වෙති. මෙම දෙපාර්ශවය සහිත මෝස්තර කර්මාන්තය විශාල බලපෑමක් සහිත ව්‍යවසායයකි. එහි නියැලි ශ‍්‍රම බලකාය සුළු පටු නොවේ. ජාත්‍යන්තර වාර්තා දක්වන පරිදි මෝස්තර කර්මාන්තයේ නිරත පිරිස මිලියන 300 කට අධිකය. මෙම සැලකිය යුතු පිරිස නිරත වී ඇති මෝස්තර කර්මාන්තය මිහිතලයට කරන බලපෑම ගැන වෙනම පර්යේෂණ කර තිබේ. නොබෝදා ‘ද ඉකොනොමිස්ට්’ සඟරාව එහි නවතම පැතිකඩක් අනාවරණය කළේය. ඇඳුම් මෝස්තරයකට ජෛවයේ පැවැත්ම වෙනුවෙන් කරන පුළුල් බලපෑම ගැන එයින් යම් අවබෝධයක් ලබාගත හැකිය.

ඛනිජ තෙල් කර්මාන්තයෙන් පරිසරයට කරන හානිය බරපතළ යැයි සැලකේ. ඇඟළුම් කර්මාන්තය එයට දෙවැනි වී ඇත. මෝස්තර නිරූපණය එහි සෑහෙන වගකීමක් උසුලයි. වසරකට ඇඳුම් ඒකක බිලියන අසූවක් පාරිභෝගිකයෝ මිල දී ගනිති. බිලියන හතකට මදක් වැඩි ලෝකවාසීහු කොපමණ ඇඳුම් ප‍්‍රමාණයක් නිතිපතා මිල දී ගන්නේ දැයි මෙයින් සැසඳිය හැකිය. වසරේ පළමුවෙන් වැඩට යන දවසට, අලුත් අවුරුද්දට, උපන් දිනයට හෝ උත්සව අවස්ථාවල අලුතින් ඇඳුමක් තෝරා ගන්නට අකැමැති කිසිවකු නැත. අලුත් ඇඳුම් විශාල ප‍්‍රමාණයක් තෝරා ගන්නා සෑම අවස්ථාවකම ලෝක ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් අලුතින් ඇඳුමක් මිල දී ගත නොහැකි දුර්වල ආර්ථික පසුබිමක ජීවත්වන බව ද අමතක කළ යුතු නැත. දුප්පත්කම ආහාර හිඟය බරපතළ අන්දමින් පවතින අවස්ථාවක අලුත් මෝස්තරයක ඇඟළුමක් ගැන හිතන්නේ කෙසේද? අනෙක් අතට මෝස්තරවලින් අනූන විශාල ඇඳුම් පැළඳුම් ප‍්‍රමාණයක් පරිහරණය කරන ජන කොටස දුගී දුප්පත් ජනතාවට වඩා පරිසරයට හානි කරනු සඳහා හවුල් වන බව ද තේරුම් ගැනීම වැදගත්ය.

ඇඟළුම්, විශේෂයෙන් මෝස්තර කර්මාන්තය ලෝකයේ පැවැත්මට හානි කරන බව ප‍්‍රකාශ කරන්නේ ඇයි? අවුරුද්දකට බිලියන අසූවක ඇඟළුම් ඒකක ප‍්‍රමාණයක් අලෙවි වන විට එය මෙයට වසර හතලිහකට කලින් අලෙවි වූ ප‍්‍රමාණයට වඩා හාරසිය ගුණයක ඉහළ යාමකි. වෙනදා නොතිබුණ තරම් ඇඳුම් සාප්පු, ඒවායේ එකිනෙකට වෙනස් මෝස්තර හා මිල දී ගන්නට වත්කමක් ඇති පිරිස උත්සව වකවානුවලදී මලු පුරවාගෙන ඇඳුම් තෝරා ගන්නා අත්දැකීම් ඇති පසුබිමක මෙම වර්ධනය අලුත් දෙයක් නොවේ. එය පැහැදිලිය. අමෙරිකානුවන් 1980 වසරේ දී මිල දී ගත් ඇඳුම් ප‍්‍රමාණයට වඩා අද පස්ගුණයකින් ඇඳුම් මිල දී ගන්නා බව දැක්වෙයි. දියුණු අනෙක් රටවල් ද එයට නොදෙවැනිය. අවසානයේදී ඇඟළුම් කර්මාන්තය අමෙරිකානු ඩොලර් ටි‍්‍රලියන 1.3 ක කර්මාන්තයක් බවට පත්ව ඇති අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් පසුගිය අවුරුදු 15 තුළ ලෝකය පුරා ඇඳුම් අලෙවිය දෙගුණයකින් ඉහළ ගොස් තිබේ.

මෝස්තරයක් අලුතින් එළි දක්වන විට එය අලුතින් මිලදී ගන්නට නැඹුරු වන පාරිභෝගිකයන් වන අප සියලු දෙනා මතක තබා ගත යුතු වැදගත් දෙයක් තිබේ. එක ඇඳුම් කිලෝවක් නිපදවන විට හරිතාගාර වායු විමෝචනය කිලෝ විසි තුනකි. කිලෝ ගණනින් රෙදි කෑලි විකුණා අලුත් ව්‍යවසාය ගොඩ නැගෙන අතර රෙදි පිළි කර්මාන්තයේ නිරත පිරිස පමණක් නොව ඇඟළුම් අලෙවියෙහි නිරත පිරිස ද තමන්ගෙන් පරිසරයට වන හානිය ගැන අවධානය යොමු කළ යුතුය. තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම හා වගකීම ගැන හිතන්නට මෙය අවස්ථාවකි. කිලෝ විසි තුනක වායු විමෝචනය සුළු දෙයක් යැයි පැත්තකට කළ නොහැකිය. ලෝකයේ නිතිපතා ගුවන්ගත කරන ගුවන් යානා සහ සමුදුර සැරිසරන සියලුම නෞකා වලට වඩා කාබන්ඩයොක්සයිඩ් ප‍්‍රමාණයක් ඇඟළුම් කර්මාන්තයේදී පරිසරයට මුදා හැරේ. ඉහළ අහසේ ජෙට් යානයක් ගමන් කරන විට සෑහෙන වෙලාවක් අහසේ ඇඳෙන දුම් රේඛාවට වඩා යමක් අලුතින් මිල දී ගන්නා ඇඳුම්වලින් පරිසරයට සිදුවන බව හිතන්නට අවශ්‍යය.

සාමාන්‍යයෙන් ඔබ අප මිල දී ගන්නා ඇඳුමක් සෑහෙන වාරයක් අඳින්නට කැමැතිය. වෙන හේතුවක් නොවේ. මිලක් ගෙවා ලබා ගත් එයින් උපරිම ප‍්‍රයෝජන ගැනීමේ අදහස ඇත. අලුතින් ඇඳුමක් මිල දී ගෙන වරක් සැරසී එය පැත්තකට විසි කරන්නට තරම් වත්කමක් අපට නැත. නමුත් අවුරුද්දකට ලෝකයේ අලෙවි කරන ඇඳුම් ඒකක බිලියන අසූවෙන් හරි අඩක් එනම් ඒකක බිලියන හතළිහක් එක වතාවකට වඩා අඳින්නේ නැත. මෝස්තරකරුවන් එයට වග කිව යුතුය. මෝස්තර වෙනුවෙන් නිර්මාණය කරන ඇඳුම් පැළඳුම් සෑහෙන ප‍්‍රමාණයක් එක වතාවක් හෝ අඳින්නේ නැතිව විනාශ කරන බව මෝස්තර කර්මාන්තයේ රහසකි.

අවසානයේ දී ඉතාම වැදගත් සඳහනක් කළ යුතුව තිබේ. වසර 2020 වන විට එක වසරකට ලෝකය පුරා මෙටි‍්‍රක් ටොන් මිලියන 175 ක ඇඳුම් පැළඳුම් තොගයක් පරිහරණය කරනු ඇතැයි සැලකේ. එය දැවැන්ත කර්මාන්තයකි. සමහරවිට ඛනිජ තෙල් පරිහරණය සීමා සහිත වී බලශක්තිය නිපදවීම පුනර්ජනනීය පිළිවෙතකට හැරුණොත් ඇඟළුම් නිෂ්පාදනය හා මෝස්තර නිරූපණය ලෝකයේ භයානකම කර්මාන්තය බවට පත්විය හැකිය.

ශ‍්‍රී ලංකාව ඇඟළුම් අපනයනයෙහි නිරතය. රටට විනිමය උපයන මාර්ග අතරින් දෙවැනි තැන ඇඟළුම් කර්මාන්තයට හිමිය. මාධ්‍ය පරිහරණය කරන විට මෝස්තර නිරූපණය සෑහෙන ප‍්‍රමාණයකින් නැගී වර්ධනය වූ වෘත්තියක් බව පැහැදිලිය. රටට ආනයනය කරන රෙදි පිළි ප‍්‍රමාණය, ඒවායෙන් නිපදවන ඇඟළුම් ඒකක ගණන ඉහළ යන තරමට ලෝක ප‍්‍රජාවගේ වපර ඇහැට ශී‍්‍ර ලංකාව ලක්වන්නට ඉඩ තිබේ. එයට හේතුව පරිසරයට හානි කරන කර්මාන්තයක් පවත්වාගෙන යන රටක් හැටියට ශ්‍රේණිගත කිරීමය. අලුත් ඇඳුමක් මිල දී ගන්නා විට එයින් සිදුවන සියුම් හානිය ගැන අවධානය යොමු කරන්නට අවශ්‍යය. ලෝකයේ සිදුවන යම් යම් ආර්ථික හා සමාජ පරිවර්තනවලට අනුවර්තනය වන්නේ කෙසේද? සලකා බැලිය යුතු කරුණකි.

මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.

►මිලින්ද මොරගොඩ