I සංජීවිකා සමරතුංග
මෝටර් රථ ධාවනය සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී (ලයිසන් නිකුත් කිරීමේදී) සිදුකෙරෙන ප්‍රායෝගික රියැදුරු පරීක්ෂණ (ට්‍රයල්) වලින් කොටසක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයටත් ලංකා ඔටෝමොබයිල් සංගමයටත් පැවරීමට තීන්දු කර ඇත.
මේ සම්බන්ධයෙන් දේශය කළ විමසුමකට පිළිතුරු දුන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේ දැනට මෙම කාර්යයේදී සිදුවෙතැයි කියන යම් යම් අකටයුතුකම් තුරන් කිරීමටත් අධික තදබදය අඩුකිරීමටත් මෙම තීන්දුව ගත් බවයි.
දැනට තම දෙපාර්තමේන්තුව මසකට රියැදුරු බලපත්‍ර 25,000ක් පමණ නිකුත් කරන බව කී හෙතෙම පරීක්ෂකවරයකු දිනකට ට්‍රයල් 30ක් හෝ 40ක් කරන බව කීය. එම ප්‍රමාණය අධික බැවින් පරීක්ෂණවලදී අතපසුවීම් සිදුවිය හැකි නිසා මෙම තීරණය ගත් බව වැඩිදුරටත් පැවසීය.
මෙම ට්‍රයල් පරීක්ෂණයට පෙර පවත්වන ලිඛිත පරීක්ෂණයද නව තාක්ෂණය ඔස්සේ ක්ෂණිකවම නිමකෙරෙන ක්‍රමයකට දැනට වේරහැර රථවාහන බලපත්‍ර කාර්යාලයේ ක්‍රියාත්මක කරන්නේ යැයිද කොමසාරිස් ජනරාල්වරයා කීය.