2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

දෙසැම්බර් 1 සිට ස්ථාවර තැන්පතු සීයට 5 බද්ද අහෝසිය

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 451

ව්‍යාපාරික වාර්තාකරු l

බැංකු ස්ථාවර තැන්පතු පොලියෙන් අය කළ 5%ක රැඳවුම් බද්ද දෙසැම්බර් 01දා සිට මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියමය අනුව වෙනස් කරන බව මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා දේශයට පැවසීය.

මෙතෙක් පැවති බදු ක්‍රමය වූයේ ඕනෑම තරාතිරමක කෙනෙකුගේ ස්ථාවර තැන්පතුවක් සඳහා ලැබෙන වාර්ෂික පොලී ආදායමෙන් 5%ක් රැඳවුම් බද්දක් ලෙස අය කිරීමයි.

එහෙත් දෙසැම්බර් 01දා සිට මෙම බද්දෙන් වයස අවුරුදු 18ට අඩු දරුවන්ගේ තැන්පතු පොලිය සහමුලින්ම බද්දෙන් නිදහස් කෙරේ. වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතුවලට ලැබෙන වාර්ෂික පොලී ආදායමෙන් රුපියල් ලක්ෂ 30ක් බද්දෙන් සම්පූර්ණයෙන්ම නිදහස්ය. ඒ අනුව වැඩිහිටි පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු ගිණුම්වලට මසකට ලැබෙන රු.2,50,000ක් දක්වා වන පොලී ආදායම බද්දෙන් නිදහස් කෙරේ. ඉන් ඉහළ ආදායම් ලබන්නන්ගෙන් එම බදු අය කෙරේ.

වයස අවුරැදු 18ක් අවුරුදු 60ත් අතර කාණ්ඩයේ පසුවන්නන්ගේ බැංකු ස්ථාවර තැන්පතු පොලී ආදායමෙන් වසරකට රැපියල් ලක්ෂ 6ක් සම්පූර්ණයෙන්ම බද්දෙන් නිදහස්ය. ඒ අනුව මසකට රුපියල් 50,000ක් ස්ථාවර තැන්පතුවක පොලී ආදායම ලබන්නේ නම් එය බද්දෙන් නිදහස් කෙරේ. මසකට රුපියල් 50,000කට වැඩි ස්ථාවර තැන්පතු පොලී ආදායම් ලබන්නන්ගෙන් නියමිත ලෙස බදු අය කෙරේ.

කෙසේ හෝ බැංකු පොලී ආදායම මත අය කරන බද්ද අවසානාත්මක බද්දක් ලෙස සලකන නිසා එම පොලී ආදායම මත කිසිවෙකුගෙන් නැවත ආදායම් බදු අය නොකෙරෙන බවද මහා භාණ්ඩාගාර ලේකම්වරයා සඳහන් කළේය.