2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා

කතානායක රැකවරණෙට මැතිසබයට පොලිසිය!

 2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 86

I දේශපාලන වාර්තාකරු

මෑත ඉතිහාසයේ පළමු වරට සිකුරාදා පාර්ලිමේන්තු සභා ගැබ මැදට පොලීසිය කැඳවා ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයකට ඡන්දය විමසීමට කතානායකවරයාට සිදුවිය.

සභා ගැබ මැදට පොලීසිය කැඳවූයේ කතානායකවරයාට සහ සෙංකෝලය රැගෙන පැමිණි වේත්‍රධාරීගේ ආරක්ෂාව සඳහාය. පොලීසිය පැමිණීමට පෙර සිට ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීන් කතානායක අසුන වටා සිටිමින් විරෝධතා දක්වන්නට වූහ. කතානායක අසුනේ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අසුන් ගෙන සිටියේය. ඔවුන් විරෝධතා දැක්වූයේ ඊට පෙරදා පිහි රැගෙන පැමිණ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ට තර්ජනය කළා යැයි කියන මන්ත්‍රීන්ට එරෙහිව වහා නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමිනි.

කතානායකවරයා සභාවට පොලීසිය සමඟ පැමිණෙන විට කතානායක ආසනය ද මන්ත්‍රීන් බලෙන් ඉවත්කර තිබිණි. එනිසා ඔහු ගාලගෝට්ටිය මධ්‍යයේ විශ්වාසභංග යෝජනාව කැඳවා ක්ෂණිකව ඡන්දය විමසා රජය පරාජය වූ බවට තීන්දු කර සභා ගැබෙන් පිටත්ව ගියේය. ආණ්ඩු පක්ෂය ඊට එරෙහිව විරෝධතා දැක්වීය.

අනතුරැව ආණ්ඩු පක්ෂය වෙනුවෙන් මාධ්‍ය හමුවක් තැබූ දිනේෂ් ගුණවර්ධන මහතා සම්ප්‍රදාය හා නීති විරෝධීව විශ්වාසභංගය සම්මත කිරීම තමන් නොපිළිගන්නා බව පැවසීය. විපක්ෂය වෙනුවෙන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ රාජපක්ෂලාගේ කාඩ්බෝඩ් ආණ්ඩුව පරාජය වූ බවය. එනිසා තවදුරටත් එජාපයට ආණ්ඩුව හිමි බවද හිටපු අගමැතිවරයා කීය. මෙම අර්බුදකාරී සභා රැස්වීම අවසානයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරු සභා ගැබට පිවිස මොහොතකින් පිටව ගියහ.