ජේ. ඒ. එල්. ජයසිංහ l
පසුගියදා අපවත් වූ මල්වතු පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහෝපාධ්‍යාය අග්ග මහා පණ්ඩිත අලුත්ගම ශ්‍රී ධම්මානන්ද මාහිමි ආදාහන පූජෝත්සවයට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව රජය විසින් ප්‍රකාශ කළත් උන්වහන්සේගේ අදාහන පූජෝත්සවයට වැයවූ රුපියල් ලක්ෂ 14ක මුදල ගෙවා ගැනීමට නොහැකිව අදාහන කමිටුවේ නිලධාරීහු දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.
ආදාහනය පැවති මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේ විශේෂ ආවරණ කුටි සැපයීම, ආසන සැපයීම සහ සංග්‍රහ කටයුතු මෙන්ම මහා සංඝරත්නයට අසුන් ගැනීම සඳහා ඉදිකළ ආසන සහිත විශේෂ ආවරණ සැපයීම සඳහා පෞද්ගලික ආයතනයකට ගෙවීමට නියමිත රුපියල් ලක්ෂ 14ක මුදලක් ගෙවීමට ආදාහන කමිටුවට අසීරු වී තිබීම නිසා එකී ආයතනය වරින්වර තමන්ට ලැබිය යුතු මුදල් ඉල්ලා සිටින බවත් එකී මුදල සපයා ගැනීමට නොහැකිව ආදාහන කමිටුව ද දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් හෙළිවිය.
ආදාහන පූජෝත්සවයේ වෙනත් වියදම් (චිතකය, දේහය තැන්පත් කිරීම සඳහා වූ විශේෂ පෙට්ටිය ඇතුළුව අවමංගල්‍ය කටයුතු සඳහා වැය වූ මුදල්) මහනුවර සුවිශේෂී වූ ප්‍රභූ දානපතියකු තම පෞද්ගලික මුදලින් අවමංගල්‍ය ආයතනයට ගෙවා ඇතත් අනෙකුත් කටයුතු සඳහා රජය විසින් ගෙවිය යුතු මුදල් මේ වනතෙක් ගෙවා නැති බවද මෙම තත්ත්වය හේතුවෙන් අදාළ සැපයුම් ආයතනය වරින්වර එම මුදල් ගෙවන ලෙස ආදාහන කමිටුවේ නිලධාරීන් වෙත දැනුම්වත් කරන බවද වැඩිදුරටත් තොරතුරු සොයා බැලීමේදී අනාවරණය විය.
අලුත්ගම ශ්‍රී ධම්මානන්ද මාහිමි ආදාහන පූජෝත්සවයට රජය නියෝජනය කරමින් දේශපාලනඥයන් රැසක් ද වෙනත් දේශපාලනඥයන් හා ඉහළ රාජ්‍ය නිලධාරීන් රැසක් ද සහභාගී වූහ.