දේශපාලන වාර්තාකරු l
ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා සභාග ආණ්ඩුවක් නිර්මාණය කරන්නේ නම් ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී.ල.නි.පය මුලින් ඒ ගැන අවසන් තීන්දුවකට එළඹ විපක්ෂය සමඟ සාකච්ඡා කරන්නැයි ජනපතිට දැන්වීමට ඒකාබද්ධ විපක්ෂය තීන්දු කළේය.
සභාග ආණ්ඩුවක් සම්බන්ධයෙන් දෙවැනි සාකච්ඡා වටයක් ආරම්භ කිරීමට පෙර විශ්වාසය තහවුරු කිරීම සඳහා මෙවැනි පියවරක් ගත යුතු යැයි මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය තීරණය කළේ දීර්ඝ සාකච්ඡා වට දෙකකින් පසුවය.
සභාග රජයක් පිහිටුවීමට අදාළව ශ්‍රී.ල.නි.පයේ හා ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් පසුගිය සතිය පුරා සාකච්ඡා වට 4ක් පැවැත්වූ අතර සුළු පක්ෂ ගණනාවක් සමඟ ද අදහස් හුවමාරු කරගත් බව වාර්තා විය.
කෙසේ හෝ සභාග රජයක් පිළිබඳ අවසන් තීන්දුව ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් ගැනීමේ බලය මහින්ද රාජපක්ෂ මහතාට පවරා තිබේ. සිය කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් වෙත සිය තීරණය පසුගිය සිකුරාදා දැනුම් දුන් මහින්ද රාජපක්ෂ මහතා සභාග රජයක් සඳහා ආරම්භක පියවර හා තීන්දු ගත යුත්තේ ජනාධිපතිවරයා විසින් යැයි දැනුම් දී තිබේ.