l අධිකරණ වාර්තාකරු
මේ වසරේ ජූලි මස 2 වන දින යාපනයේ වීරසිංහම් ශාලාවේ පැවැති ජනපති ජනතා නිල මෙහෙවර උත්සවයේදී හිටපු ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය, තහනමට ලක්කර තිබෙන කොටි සංවිධානය නැවත උතුරට අවශ්‍ය බවට කරන ලද ප්‍රකාශයට එරෙහිව නඩු දෙකක් පවරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට පසුගිය සිකුරාදා නියම කළේය.
මින් පළමු නඩුව දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ පැවරෙන අපරාධ නඩුවකි. ජනතාවගේ විරෝධයක් ඇතිකිරීම හෝ ඊට තැත් කිරීම යන වැරුදි උදෙසා හිටපු ඇමැතිවරියට මෙකී අපරාධ නඩුව පැවරෙන බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. විජයකලා මහේෂ්වරන් මහත්මියට පැවරෙන දෙවැනි නඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට එරෙහිවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 අ වගන්තිය යටතේ ශ්‍රී ලංකාව තුළ වෙනම දේශයක් පිහිටුවීමට ආධාර දීම, අනුග්‍රහය දැක්වීම, අනුබල දීම, දේශනා කිරීම, ධෛර්යය දීම නොකළ යුතු බවට තහනමක් පනවා තිබියදී හිටපු ඇමැතිවරියගේ ප්‍රකාශයෙන් එම වගන්ති උල්ලංඝනය කර ඇතැයි නීතිපතිවරයා නිගමනය කර ඇත. ඒ අනුව අධිචෝදනා මත අභියාචනාධිකරණයේදී තවත් නඩුවක් පැවරීමට තීන්දු කර ඇත.
එබඳු නඩුවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 අ (3) වගන්තිය ප්‍රකාරව විභාග කළයුතු බව සඳහන්ය. යම් හෙයකින් හිටපු අමාත්‍යවරිය එම චෝදනාවලට වැරැදිකාරිය වුවහොත් ඇයගේ දේපළ රාජසන්තක වන අතර වසර 7ක කාලයකට ප්‍රජා අයිතිය අහෝසි වනු ඇති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වේ. ඔහු හෝ ඇය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වන්නේ නම් ඔහුගේ ඇයගේ ධුරය අහෝසි වන බවද ව්‍යවස්ථාවේ වැඩිදුරටත් සඳහන්ය.
හිටපු ඇමැතිවරියට නඩු දෙකක් පැවරීම සඳහා ගත් තීරණය සිකුරාදා සන්ධ්‍යාවේ නීතිපතිවරයා විසින් කතානායකවරයාටද දැනුම් දී තිබුණු බව දේශයට වාර්තාවේ.