2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

මහනුවර රන්දෝලි පෙරහර අනිද්දා සිට

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 98

I ජේ.ඒ.එල්. ජයසිංහ

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ හතරවැනි කුඹල් පෙරහර අද දින වීථි සංචාරය කිරීම සුභ මොහොතින් සිදුකෙරෙයි.

ඓතිහාසික ඇසළ මහා පෙරහරේ ප්‍රථම කුඹල් පෙරහර ආරම්භ වූ අගෝස්තු මස 16 වන දින රාත්‍රී අති විශාල ජනතාවක් පෙරහර නැරඹීමට එක් වී සිටියහ.

අගෝස්තු මස 20 වන දින රාත්‍රී 6.55ට අවසන් කුඹල් පෙරහර වීථි සංචාරය කෙරෙන අතර කුඹල් පෙරහර පුරා දින පහක් පැවැත්වෙයි.

අගෝස්තු මස 21 වැනි දින රාත්‍රී 7.37ට ප්‍රථම රන්දෝලි පෙරහර වීථි සංචාරය කිරීම ආරම්භ වෙයි. අගෝස්තු 22, 23, 24 සහ 25 දක්වා මහනුවර ඇසළ පෙරහරේ රන්දෝලි පෙරහර වීථි සංචාරය කෙරේ.

අගෝස්තු 26 වැනි දින අලුයම මහනුවර ඓතිහාසික අස්ගිරිය ගෙඩිගේ රාජමහා විහාරය වෙත ගමන් කෙරෙන පෙරහර කරඬුව ගෙඩිගේ විහාරයේ තැන්පත් කිරීමෙන් අනතුරුව මහනුවර පුල්ලෙයාර් කෝවිල වෙත ගොස් දේව පූජා පවත්වා දේවාශීර්වාද ලබාගැනීමෙන් පසු ඓතිහාසික ගැටඹේ මහවැලි නදී තෙර දිය කපන ස්ථානයේදී දිය කැපීමේ මංගල්‍යය සිදු කිරීමෙන් මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වෙයි.

මෙවර ඇසළ පෙරහර ඉතා විචිත්‍රවත් නව අංග රැසක් මෙන්ම උඩරට දර්ශනීය නර්ථන අංග එක්කරමින් පවත්වන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා කීය.

අගෝස්තු 26 වන දින දවල් පෙරහර වීථි සංචාරය කිරීමෙන් අනතුරුව එදින සවස 4.00ට මහනුවර ජනපති මැඳුර වෙත ගොස් දියවඩන නිලමේ ඇතුළු බස්නායක නිලිමේවරුන් පෙරහර සාර්ථකව නිමකළ බව සඳහන් පෙරහර සංදේශය බාරදීම සිදුවෙයි.