2018 මැයි 19 වන සෙනසුරාදා

ශ්‍රීලනිප-එජාප පසුපෙළ මන්ත්‍රී පිරිසක් පෙරළිකාර තීන්දුවක?

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 899

ගයාන් ගාල්ලගේ l 

දැනට ආණ්ඩුවේ කටයුතු කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම් දෙකක් පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස අසුන් ගැනීම සම්බන්ධයෙන් රහසිගත සාකච්ඡා පවත්වමින් සිටිනා බව දේශයට වාර්තා වේ.

මේ මන්ත්‍රී පිරිසෙන් බහුතරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පසුපෙළ නියෝජනය කරති. මෙම කණ්ඩායමට මන්ත්‍රීවරුන් 12ක් පමණ ඇතුළත් වෙතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට අනාවරණය කළේය. 

තවදුරටත් එජාපය සමඟ හවුල් ආණ්ඩුවක කටයුතු කළ නොහැකි බවත් ඒ සම්බන්ධව ඉදිරි සතියේ පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වූ අවස්ථාවේ ආණ්ඩුවෙන් ඉවත් වීම ගැන මැති ඇමැතිවරුන් විසින් එහිදී විවිධ අදහස් පළකර තිබුණි. එහිදී ජනාධිපතිවරයා කියා තිබුණේ 2020 දක්වා ශ්‍රීලනිපය මෙම රජය සමඟ කටයුතු කළහොත් පක්ෂය අභාග්‍යසම්පන්න ඉරණමකට මුහුණ දෙනු ඇති බවයි.

මේ අතර එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් 8 දෙනකු මේ සතියේ කොළඹදී රහසිගත සාකච්ඡා කිහිපයක් පවත්වමින් වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට ඇති හැකියාව පිළිබඳව පොදු තීන්දුවකට එළඹුණු බව එම කණ්ඩායමේ ප්‍රකාශකයෙක් දේශයට කීය.

පසුගිය සිකුරාදා රාත්‍රියේ තවත් සාකච්ඡා වටයක් පැවැත්වීමට නියමිතව තිබුණි. එම සාකච්ඡාවේදී ඔවුන් ගන්නා තීරණය ලිඛිතව මන්ත්‍රී අත්සන් සහිතව ලබාගැනීමට සාකච්ඡා කළ බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.