2018 මැයි 12 වන සෙනසුරාදා

ප්‍රවාහන ගාස්තුත් නගී

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 51

රජිත ජාගොඩ ආරච්චි l

ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමත් සමඟ ප්‍රවාහන ගාස්තු ඇතුළු බොහෝ අංශවල මිල ගණන් ඉහළ යෑමට පටන් ගෙන තිබේ. 

බස් ගාස්තු මිල ගණන් අවම වශයෙන් සියයට 10ක ප්‍රතිශතයකින් වැඩි විය හැකි බවත්, ඩොලරය හමුවේ රුපියල බාල්දුවීම නිසා ආනයනික අමතර කොටස් මිල ගණන් වැඩිවීම ඇතුළු හේතු කිහිපයක් මත එම ප්‍රතිශතය තවදුරටත් ඉහළ යා හැකි බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න දේශයට පැවසීය.

කෙසේ වුවද ලංගම බස් ගාස්තු සංශෝධනය වේදැයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ දැනට එවැනි තීන්දුවක් ගෙන නොමැති බවත් ජූලි මස සිදුවීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේදී ඒ පිළිබඳ තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවත් ය.

ත්‍රී රෝද රථ ගාස්තු අය කිරීමේදී පළමු කිලෝ මීටරයට සහ දෙවැනි කිලෝමීටරයට අය කෙරෙන ගාස්තුව රුපියල් 10කින් වැඩි කිරීමට ත්‍රී රෝද රථ සංගම් තීරණය කර ඇතැයි ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන පැවසීය. ඒ අනුව මෙතෙක් රුපියල් 50ක්ව පැවැති පළමු කිලෝමීටරයේ ගාස්තුව රුපියල් 60ක් වන අතරම රුපියල් 33-40 ත් අතර පැවැති දෙවැනි කිලෝමීටරයේ ගාස්තුව ද ඊට අනුරූපීව වැඩි වේ.