මල්වතු අස්ගිරි මහනාහිමි දැඩි විරෝධය
දේශපාලන වාර්තාකරු |
දැනට ක්‍රියාත්මක වන විධායක ජනාධිපති ක්‍රමය කිසිසේත්ම අහෝසි නොකළ යුතු යැයි මල්වතු හා අස්ගිරි මහ නා හිමිවරු ප්‍රකාශ කරති. උන්වහන්සේලා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා රජයෙන් ඉවත්වූ ශ්‍රී ල.නි.ප. මැති ඇමැතින් පසුගිය බදාදා මුණගැසුණු අවස්ථාවේදීය.
මෙම හිටපු මැති ඇමැතින් අස්ගිරි මහ විහාරයට පැමිණි අවස්ථාවේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහ නාහිමියෝ අස්ගිරි කාරක සංඝ සභාවම රැස් කළහ. අනතුරුව මැති ඇමැතිවරු තමන් රජයෙන් ඉවත්වීමට බලපෑ හේතු විස්තර කළෝය. සියල්ලට සාවධානව කන්දුන් මහ නාහිමිපාණන් ප්‍රමුඛ කාරක සංඝ සභාව ඔවුන් ගත් තීන්දුව ගැන සතුට පළකරමින් දැනට ක්‍රියාත්මක විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතු බවට දැඩි ලෙස කරුණු දැක්වූහ. එය බටහිර රටවල වුවමනාව බවද පැවසූහ.
අනතුරුව මල්වතු මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමිපාණන්, බැහැදුටු මෙම පිරිස හමුවේ උන්වහන්සේ තමන් අපේක්ෂා කළේ ඉදිරි වසර 1 ½ වත්මන් රජය අඛණ්ඩව පවතිනු ඇතැයි කියා යැයි සඳහන් කළහ. කෙසේ වෙතත් වත්මන් විධායක ජනාධිපති ක්‍රමය කිසිසේත්ම අහෝසි නොකළ යුතුය යන්න තම මතය බව පැවසූ මල්වතු මහ නාහිමියෝ විධායක ක්‍රමය අහෝසි කළහොත් රට අරාජික වනු ඇතැයිද සඳහන් කළහ.
ජවිපෙ යෝජනාව ලබන සතියේ මැතිසබයට
ගයාන් ගාල්ලගේ |
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත සම්පූර්ණයෙන් සකස් කොට ඇති නිසා එළඹෙන සතියේ පාර්ලිමේන්තු සැසිය පැවැත්වෙන මොහොතක එය ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා (දේශය)ට පැවසීය.
සංශෝධනයට අදාළ කරුණු සම්බන්ධයෙන් මේ වනවිට පක්ෂ දැනුම්වත් කරමින් සිටින බවත් එම වැඩකටයුතු වලින් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් හෙතෙම කීය.
කෙසේ වෙතත් කඩිනමින් එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තම පක්ෂයේ අපේක්ෂාව බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.