2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

රුපියල බහී බඩුමිල නගී

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 191

රජිත ජාගොඩ ආරච්චි l

ඩොලරයට සාපේක්ෂව රුපියල දිගින් දිගටම බාල්දු වීම හේතුවෙන් ආහාර ද්‍රව්‍ය, ඖෂධ,  මෝටර් රථ ඇතුළු මෙරටට පිටරටින් ගෙන්වන බොහෝ ද්‍රව්‍යයන්හි මිල ගණන් ඉදිරියේදී විශාල ලෙස ඉහළ යාමේ අවදානමක් පවතින බව එම ක්ෂේත්‍රවල ව්‍යාපාරික සංගම් ප්‍රධානීහු පෙන්වා දෙති.

ආනයනික ආහාර ද්‍රව්‍ය අතරින් වැඩිම බලපෑමක් එල්ලවනු ඇත්තේ සීනි සහ පරිප්පුවලට බව පිටකොටුවේ තොග වෙළෙඳ ව්‍යාපාරිකයන්ගෙන් කළ විමසීමකදී දැනගන්නට ලැබිණි. ඔවුන් පෙන්වාදෙන අන්දමට රුපියල අවප්‍රමාණය වීමත් සමඟ ඉදිරියේදී සීනි සහ පරිප්පු සඳහා කිලෝවක මිල රුපියල් 10කින් පමණ ඉහළ යාමේ වැඩි ඉඩක් පවතී. ඊට අමතරව කඩල, මුං, ලොකු ලූනු ආදී වෙනත් ආහාර ද්‍රව්‍ය මිල ගණන් ද ඉහළ යනු ඇත.

මේ අතර ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරංචිගේ මහතා සඳහන් කළේ මේ වනවිටත් මෝටර් රථ මිල ගණන් සියයට 10කින් පමණ ඉහළ ගොස් ඇති බවත් ඉදිරියේදී තවදුරටත් මිල ඉහළ යෑමක් බලාපොරොත්තු විය හැකි බවත්ය. කෙසේ වුවද ඩොලරයට සාපේක්ෂව ජපන් යෙන් අගය අඩුවී තිබීම ශ්‍රී ලංකාවට වාසියක් ගෙන දුන්නද ඉන්දියානු මෝටර් රථ මිල ඉහළ යා හැකි බව ඔහු පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ වාණිජ මණ්ඩලයේ කවුන්සිල සාමාජික කළණ හේවාමල්ලිකා මහතා දේශයට අදහස් දක්වමින් පැවසුවේ ඖෂධ මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ මිල කමිටුව සමඟ සාකච්ඡා කිරීමට අදහස් කරගෙන සිටින බවය. සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඖෂධ සම්බන්ධයෙන් මිල පාලනයක් හඳුන්වාදී ඇති බැවින් මිල ගණන් ඉහළ දැමීමට පෙර සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අවසර ගත යුතුව ඇතැයි ද ඔහු කියා සිටියේය.

ඉකුත් බ්‍රහස්පතින්දා සවස් වරුව වනවිට ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල 159.03 ක් දක්වා පල්ලම් බැස තිබුණි. කෙසේ වුවද බොහෝ වාණිජ බැංකුවල ඩොලරයේ විකුණුම් අගය රුපියල් 160 ඉක්මවා තිබුණි. වත්මන් රජයේ වසර තුනක පාලන කාලය තුළ ඩොලරයට සාපේක්ෂව රුපියල 19%කින් අවප්‍රමාණය වී තිබේ.