2018 මාර්තු 31 වන සෙනසුරාදා

ලේකම්වරු රොත්තක් එක පාරටම ගෙදර

 2018 මාර්තු 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 78

I දේශපාලන වාර්තාකරු

ඉතාමත් කලාතුරකින් සිදුවන පරිදි ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ කැබිනට් අමාත්‍යාංශ 10ක ලේකම්වරැන් මාස දෙකක පමණ කාලයක් තුළ විශ්‍රාම ගැනීමෙන් රාජ්‍ය සේවයේ බරපතළ ගැටලු සහගත තත්ත්වයක් උද්ගත වෙමින් ඇතැයි වාර්තා වෙයි.

පසුගිය පෙබරවාරි මස මැද භාගයේ සිට අප්‍රේල් මාසය දක්වා කාලය තුළ මෙසේ විශ්‍රාම ගන්නේ උදය සෙනවිරත්න, අයි.එච්.කේ. මහානාම, කිංස්ලි ප්‍රනාන්දු, අභය රත්නායක, ඩබ්ලිව්.ඇම්.පී.ජී. වික්‍රමසිංහ, සරත් විතාන, නීල් ද අල්විස් යන ලේකම්වරුන්ය. ඔවුහු විද්‍යා හා තාක්ෂණ, ඉඩම්, ආපදා කළමනාකරණ, නිවාස, ජල සම්පාදන, ස්වදේශ, වනිතා කටයුතු ආදී ප්‍රධාන පෙළේ අමාත්‍යාංශ ගණනාවක ලේකම් ධූර දැරූහ.

මේ හැර රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් ඒ. කුලතුංග මහතාද විශ්‍රාම ගියේය. අමාත්‍යාංශ ලේකම් ධූරයට සමාන භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් චන්ද්‍රා ඒකනායක මහත්මියද අප්‍රේල් මස විශ්‍රාම ලබන අතර නිපුණතා සංවර්ධන අමාත්‍යංශ ලේකම් පියසේන රණේපුර මහතා මැයි මස විශ්‍රාම ගනී. මේ ආකාරයට පළපුරුදු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන් රුසක් එකවර විශ්‍රාම යාමෙන් ප්‍රවීණ පරිපාලන නිලධාරීන්ගේ හිඟයක් නිර්මාණය වෙමින් තිබෙන බව දේශයට වාර්තා වෙයි.