2018 මාර්තු 24 වන සෙනසුරාදා

සම්මුති ආණ්ඩුවේ පිපිරීමක්

 2018 මාර්තු 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 974

ගයාන් ගාල්ලගේ l

සම්මුතිවාදී ආණ්ඩුවේ බරපතළ අර්බුදයක් නිර්මාණය කරමින් අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව අත්සන් කළ ශ්‍රී.ල.නි.ප රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් තිදෙනා වහා ආණ්ඩුවෙන් ඉවත් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කර ඇත.

මේ පිළිබඳව දේශයට කරුණු දැක්වූ පාර්ලිමේන්තු සභා නායක සහ රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා සඳහන් කළේ පසුගියදා පැවති එ.ජා.ප පාර්ලිමේන්තු කණ්ඩායමේදී මෙම තීරණය ගත් බවයි.

ළඟදීම අග්‍රාමාත්‍යවරයා  ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කරනු ඇතැයි ද හෙතම සඳහන් කළේය. ඒ ගැන තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කිරිඇල්ල මහතා කීවේ ආණ්ඩුවේ සිට ආණ්ඩුවට එරෙහි කැරළි ගසන අදාළ අමාත්‍යවරුන් නියත වශයෙන්ම රජයෙන් ඉවත් කළ යුතු බවය.

ඒ අතර ශ්‍රී.ල.නි.ප ආරංචි මාර්ග සඳහන් කරන්නේ එ.ජා.ප.ය කවර තීරණයක් ගත්තද විශ්වාසභංගයට සහය දැක්වීමට අදාළ අමාත්‍යවරුන් ගත් තීරණය වෙනස් නොවන බවය. විශ්වාසභංගය අත්සන් කළ එක් මන්ත්‍රීවරයකුට ස්වකීය අත්සන් ඉවත් කරගන්නා ලෙස බලපෑම් එල්ලවී ඇතැයිද ශ්‍රී.ල.නි.ප ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.