2018 මාර්තු 24 වන සෙනසුරාදා

අවුරුද්දට කන්න රටින් බිත්තර ලක්ෂ 28ක්

 2018 මාර්තු 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 46

I සමන්ත ප්‍රදීප් විල්තෙර

උත්සව සමය වෙනුවෙන් ඉන්දියාවෙන් බිත්තර විසි අට ලක්ෂ තිස්තුන්දාස් නවසිය විස්සක් ආනයනය කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

මේ සඳහා වැයකර ඇති මුදල රුපියල් දෙකෝටි හැත්තෑලක්ෂ හතළිස් පන්දහස් හත්සිය දෙකකි.

ශ්‍රී ලංකාවේ බිත්තර නිෂ්පාදන අතිරික්තයක් තිබියදී මෙලෙස ඉන්දියාවෙන් බිත්තර ගෙන්වීම සම්බන්ධව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය දැඩි ලෙස විරෝධතාවය පළ කරන බව එම සංගමයේ ලේකම් එච්.එම්.ආර්.බී. අලහකෝන් මහතා දේශයට පැවසීය.

ඉන්දියාවේ රාජ් එක්සිම් නම් පෞද්ගලික සමාගමෙන් මෙම බිත්තර තොගය මිලදීගෙන තිබේ. රජය මිලදීගත් බිත්තර තොගයෙන් බිත්තර 472,320ක් බැගින් ඇතුළත් කන්ටේනර් දෙකක් කොළඹ වරායට පැමිණ ඇතැයි බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය. මේ ආකාරයට විදේශවලින් බිත්තර ආනයනය කිරීමට පටන් ගතහොත් දැනට බිත්තර නිෂ්පාදනයෙන් යැපෙන 6000ක් පමණ ගොවීන්ට බරපතළ අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි හෙතෙම සඳහන් කළේය. එසේම මෙය දේශීය බිත්තර නිෂ්පාදකයාට මරු පහරක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.