2017 ජනවාරි 14 වන සෙනසුරාදා

තිස්දාහෙ පඩියට හිටපු අපිව ගන්නේ දාහත්දාහේ පඩියට‍

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 132

 

2011 ඉඳන් මේ ප‍්‍රශ්නෙ දිගටම ආවා. ඒ හැම වෙලාවෙම මොනව හරි දීලා ප‍්‍රශ්නෙ යට ගැහුවා. හැබැයි අපි දිගින් දිගටම කිව්වේ අපිට ස්ථිර රැකියාවක් දෙන්න කියලයි. ඇත්තටම ගිය ආණ්ඩුවෙන් අපිට කිසිම සහනයක් හම්බවුණේ නෑ. අවුරුදු හත පිරුණු ටෙලිකොම් මෑන් පවර් සේවකයන් ස්ථිර සේවයට අන්තර්ග‍්‍රහණය කරගන්න කියලා අතුරු අයවැය යෝජනාවක් ගෙනැවිත් මේ ආණ්ඩුවෙන් තමයි යාන්තම් හරි සහනයක් ලැබුණේ. හැබැයි වත්මන් සභාපති කුමාරසිංහ සිරිසේන මහත්තයා මහින්ද රාජපක්ෂ මහත්තයට කඩේ ගියපු වෘත්තිය සමිති එක්ක හවුල් වෙලා කම්කරැ ඇමැතිවරයාගේ නිර්දේශත් යටගහන්න හදනවා. නැවත වරක් අපිට බාරට බහින්න සිද්ධවුණේ ඒකයි.

සමස්ත ලංකා විදුලේ සංදේශ සේවක සංගමයේ ලේකම් ඒ.එම්.එස්.ඩී පෙරේරා මහතා මෙසේ කියන්නේ නිවි නීවි යළි දැල්වෙන ටෙලිකොම් මෑන් පවර් සේවක අර්බුදයේ වර්තමාන කතා වස්තුව ගැනය. 

එක් ආයතනයක කරන සේවයට තවත් ආයතනයකින් වැටුප් ලැබෙන මෑන් පවර් ක‍්‍රමය ඇතැමුන් හඳුන්වන්නේ නූතන වහල් වෙළෙඳම කියාය. එමඟින් අවධාරණය කෙරෙන්නේ මෑන්පවර් ක‍්‍රමය හරහා ශ‍්‍රම සූරාකෑම දරුණු මට්ටමකට ගෙනැවිත් ඇති බවය. මේ නිසාම අද වනවිට මෑන් පවර් යන නම වෙනුවට වෙනත් ආලවට්ටම් දමාගෙන වැඩේ කරන තැනට ඇතැමුන් පල්ලම් බැස තිබේ. ශ‍්‍රී ලංකා ටෙලිකොම් සේවක ප‍්‍රශ්නයත් ඊට බොහෝ දුරට සමානය.

ටෙලිකොම් ආයතනය මෑන් පවර් ක‍්‍රමයට සේවය ලබාගැනීම ආරම්භ කළේ මීට වසර 18 කට පමණ තරම් ඈතකදීය. කල්යද්දී ටෙලිකොම් ආයතනය ගැහුවේ අපූරු ගැටයකි. ඒ සිය ආයතනයේම මුදල් යොදා එහිම පාලනයේ පවතින තම ආයතනයෙන්ම පත්කළ විධායක නිලධාරියකුගෙන් යුතු සමාගමක් නිර්මාණය කර පෙර ක‍්‍රමවේදයටම මිනිසුන්ට රැකියා දීමයි. එස්.එල්.ටී මෑන්පවර් සොලියුෂන් යන ගාම්භීර නමද ඊට හිමි විය. සාමාන්‍යයෙන් රෝහල්වල පවිත‍්‍රතා වැනි කටයුතුවලට මෑන් පවර් යොදාගත්තත් ටෙලිකොම් ආයතනය ඉංජිනේරු ආදී ප‍්‍රධාන ප‍්‍රවාහයේ සේවා සඳහා එය යොදාගත්තේය. ආර්ථික වශයෙන් ආයතනයට එය ඉමහත් වාසිදායක විය. මන්දයත් සේවයෙන් සමාන වුවද මෑන් පවර් සේවකයන්ට හිමිවුණේ ස්ථිර සේවකයකුට හිමිවන ප‍්‍රතිලාභවලින් තුනෙන් එකක් පමණක් නිසාය. මහ දවාලේ සිදුකළ මේ ශ‍්‍රම කොල්ලය හෙළිදරව්වන්නට වූයේ 2011 පමණ විට වෘත්තිය සමිතියක් නිර්මාණය වී ප‍්‍රශ්නය රට ඉදිරියට ආ විටය. 

විවිධ සීනි බෝල දිගු කළ ද ඒවාට හසු නොවෙමින් ඒකාබද්ධව දියත් කළ විරෝධය තීරණාත්මක අඩියකට ආවේ 2015 දීය. ඒ, අරගලකරුවන් සිටින තැනටම පැමිණි විපක්ෂයේ නායකයන් දුන් පොරොන්දු සමඟය. ඔවුන් පොරොන්දු දුන්නේ තමන් බලයට පැමිණි විගස මෑන් පවර් ප‍්‍රශ්නය විසඳන බවටය. එහෙත් බල පෙරැළියට වසර දෙකක් ලබන මොහොතේත් ඔවුන්ට නැවත උරුම වී ඇත්තේ අඛණ්ඩ වැඩ වර්ජන ආදී සටන්ම නම් එය කනගාටුදායකය.

හියුමන් කැපිටල් සොලියුෂන් කියන ආයතනය 2008ට ඉස්සෙල්ලා තිබුණේ ශ‍්‍රී ලංකා ටෙලිකොම් මෑන්පවර් සොලියුෂන් කියලා. ඊටපස්සෙ මේ අය මෑන්පවර් වචනෙ අයින් කරලා කම්පැනි එකක් බවට පත්කරන්න හදනවා. ටෙලිකොම් මව් සමාගමේ උපසමාගම්වලින් එකක් කියලා පෙන්නන්නයි එහෙම කළේ. කම්කරු ඇමැති ඒක සලකලා මේකෙ මව් සමාගම ටෙලිකොම් ආයතනය කියලා නිර්දේශයක් දෙනවා. ඒක පදනම් කරගෙන එතුමා නිවේදනයක් නිකුත් කරනවා මේ සේවකයන් ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අනුයුක්ත කිරීම යුක්තිසහගතයි කියලා. ඒක නිර්දේශයක්. අපි ඒක ආයතන කළමනාකාරිත්වයට යැව්වා. ඒ ලියුමත් එක්ක විෂය බාර ඇමැති හරීන් ප‍්‍රනාන්දු සමඟ වට කීපයකින් අපි සාකච්ඡා පැවැත්වුවා. ස්ථිර ලේකම් වසන්ත දේශප‍්‍රිය මහතා එක්ක සාකච්ඡා කරලා එතුමා කම්පැනියට ලියුමක් එව්වා කම්කරු ඇමැතිවරයාගේ නිර්දේශ පිළිගෙන ඒක ක‍්‍රියාත්මක කිරීමට විධිවිධාන යොදන්න කියලා. ඒ කිසිම දෙයක් වත්මන් සභාපති කුමාරසිංහ සිරිසේන මහතා ඇහුවේ නෑ. ලේකම් ඉන්නෙ මංගල සමරවීර මහතා දාපු දිලීප ජයසුන්දර. මේ දෙන්නා කරන්නේ මහින්ද රාජපක්ෂට කඩේ ගියපු වෘත්තිය සමිති එක්ක එකතු වෙලා කම්කරු ඇමැතිවරයාගේ නිර්දේශ යටගහන එකයි..

වෘත්තිය සමිති ලේකම්වරයා ආවේගශීලී මෙන්ම හැඟුම්බරය. ඒ, පෙර ආණ්ඩුව මෙන්ම මේ ආණ්ඩුව යටතේ ද නැවත නැවතත් රැවටීමට ලක්වීම ගැනය. සිදුවීම් සමඟ ගැටගැසී ඇත්තේ දේශපාලනයය. කෙසේ වෙතත් සේවකයන්ගේ විරෝධය සමඟ ටෙලිකොම් ආයතනය පසුගිය කාලයේ කිසියම් තීන්දුවක් ගෙන තිබුණි. ඒ දීර්ඝ කාලයක් තිස්සේ සේවය කළ ඇතැමුන් සුදුසුකම් බලා ස්ථිර සේවයේ පිහිටුවන්නටය.  

අවුරුදු 17, 18 වැඩ කළ සේවකයන්ගේ සුදුසුකම් බලන්න  ඕනෑ කියලා ලොක්කොන්ගෙ රියැදුරන් 121ක් ටෙලිකොම් එකේ තිබෙන අඩුම පඩියට අන්තර්ග‍්‍රහණය කරගත්තා. රුපියල් 17000යි. හැබැයි ඒ නව බඳවාගැනීම් හැටියටයි. මම මේ ආයතනයේ තාක්ෂණ අංශයේ වසර නවයක් වැඩ කරලා මගේ මූලික වැටුප රුපියල් 31000 යි. අවුරුදු නවයක් වැඩ කළ මම නැවතත් රුපියල් 17000 ක පඩියකට අන්තර්ග‍්‍රහණය වුණාම මගේ පවුල නඩත්තු කරගන්න බෑ. අර 121 දෙනාටම අද ඒ ඉරණම අත්වෙලා තිබෙන්නේ. මේ ගැන දිගින් දිගටම විරෝධය දැක්වුවත් පලක් නොවෙන තැනදි තමයි ටෙලිකොම් ආයතනය ඉදිරිපිට අඛණ්ඩ වැඩ වර්ජනයකට යන්න අපි තීරණය කළේ...

ජනපති සම්බන්ධීකරණ ලේකම්වරයාම පවසන පරිදි රුපියල් 30000ක මාසික වැටුපක් ලබන්නකු යනු ලංකාවේ දුප්පතුන් ගොඩට වැටෙන්නෙකි. එවන් පරිසරයක මෙතෙක් රුපියල් 30000ක් හරිහම්බ කරගත් මිනිසුන්ට ටෙලිකොම් සභාපතිගේ නියමයෙන් රුපියල් 17000ක් දක්වා පහළ මාසික වැටුපකට පල්ලම් බහින්නට සිදුවුවහොත් ඔවුන් වැටෙන්නේ කවර ගොඩකටද? ප‍්‍රශ්නය නිමා කරගැනීමට නම් ජනපතිවරයාම සම්බන්ධ කරගත යුතු යැයි ඔවුන් සිතන්නේ ඒ නිසා විය යුතුය. 

මේ රජය අපට ඇහුම්කන් දෙන්න පටන්ගන්නේ එහෙම පටන් ගත්ත වැඩ වර්ජනය දවස් දහයකුත් ගියාට පස්සෙයි. ඊටපස්සේ අපි ගියේ රාජිත ඇමැතිතුමා ළඟටයි. සාකච්ඡාවක් කළා. ඒක සාර්ථකයි. ලේකම්වරයා ඒකට වාර්තාවක් හදලා ඒක ආයතනයේ සභාපතිවරයාට එව්වා. හැබැයි ඔහු එය ප‍්‍රතික්ෂේප කළා. අදත් (11) මේක විසඳනවා යැයි ඇමැතිවරයා පොරොන්දු වුණා. හැබැයි සභාපතිවරයා කම්කරැ එකට ගිහින් අපේ ප‍්‍රශ්නෙ පැත්තකට දාලා ස්ථිර කාර්ය මණ්ඩලයේ ප‍්‍රශ්නයක් ගැන හෙව්වෙ. සිකුරාදා උදේ 10ට මේ ප‍්‍රශ්නෙ විසඳනවා කියලා හරීන් ප‍්‍රනාන්දු ඇමැතිවරයා නැවත පොරොන්දුවක් දුන්නා. මේකට සම්පූර්ණයෙන් වගකියන්න ඕනෑ සභාපතිවරයායි. ඇමැතිතුමාව විශ්වාසයි. හැබැයි අපි 17000ට නම් යන්නේ නෑ. එතැනදි ප‍්‍රශ්නයක් වුණොත් රටේ පළමු පුරවැසියා ළඟට යනවා. ඒත් බැරි නම් අඛණ්ඩ උපවාසයකට යෑම හැර විකල්පයක් ඉතුරු වෙලා නෑ..

♦ බිඟුන් මේනක ගමගේ
ෙස්යාරුව | සුමුදු ෙහ්වාපතිරණ