
l සංජීවිකා සමරතුංග
පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සමබන්ධව බරපතළ අර්බුදයක් හටගෙන තිබේ.
තනි පක්ෂයකට බලය පිහිටුවීමට නොහැකි වීමෙන් ආයතන රැසක ස්ථාවර පාලනයක් පවත්වාගෙන යාමට අසීරු තත්ත්වයක් උද්ගත වී ඇතැයි වාර්තා වේ.
පළාත් පාලන ආයතන 340ක් වෙනුවෙන් පැවති මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව පක්ෂයට ආයතන 130ක තනිවම පාලනය පිහිටුවිය හැකිය. එක්සත් ජාතික පක්ෂයට තනිව බලය පිහිටුවිය හැක්කේ ආයතන 9ක පමණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තනිව බලය පිහිටුවිය හැක්කේ ආයතන 2ක පමණි.
ලැබී තිබෙන ප්‍රතිඵල අනුව පොහොට්ටුව සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්වුවහොත් තවත් ආයතන 106ක බහුතර බලය ලබාගත හැක. එහෙත් එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් වුවහොත් බලය පිහිටුවිය හැකි පළාත් පාලන ආයතන ගණන 53ක් පමණක් බව සඳහන්ය.
උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක 8ක මැතිවරණ ප්‍රතිඵලය වෙනම සලකා බලතොත් එම දිස්ත්‍රික්ක ස්ථාපිත පළාත් ආයතන 78න් දෙමළ ජාතික සන්ධානයට තනිව බලය පිහිටුවිය හැක්කේ ආයතන 2ක පමණි. පොහොට්ටුව කණ්ඩායමට ආයතන 6ක තනි බලය පිහිටුවිය හැක. එක්සත් ජනතා නිදහස් සන්ධානයට තනිවම බලය පිහිටුවිය හැක්කේ ආයතන 1ක පමණි. අශ්වයා ලකුණින් තරග කළ ජාතික කොංග්‍රස් පක්ෂයට ආසන 2ක පමණ තනි බලය පිහිටුවිය හැක. ඉතිරි ආයතන 67 බලය පිහිටුවීම සඳහා පක්ෂ දෙකකට වැඩි ගණනක් එක්විය යුතු බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.