2018 ජනවාරි 27 වන සෙනසුරාදා

ඡන්දෙන් පස්සේ අලුත් සන්ධාන

 2018 ජනවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 54

I දේශපාලන වාර්තාකරු

පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලයෙන් පසු නව දේශපාලන සන්ධාන බිහිකිරීම සඳහා ප්‍රධාන පක්ෂ දෙකම රහසිගත මෙහෙයුම් දියත්කර ඇතැයි දේශයට වාර්තා වෙයි.

ඡන්ද ප්‍රතිඵලයෙන් වැඩි වාසි අත්පත් කරගන්නා කණ්ඩායම බලවත් වන බැවින් නව සන්ධාන සඳහා ප්‍රබල ලෙස කේවල් කිරීමේ බලය ඔවුනට හිමිවෙයි. ඒ අනුව එ.ජා.ප. සහ ශ්‍රී.ල.නිප ඒකාබද්ධව පවත්වාගෙන යන යහපාලන රජය දිගටම පවත්වාගෙන යන්නේ නම් එයටද නව ගිවිසුමක් ඇතිකරගැනීම අනිවාර්ය බව එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයෙක් දේශයට කීය.

මේ සම්බන්ධ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) කණ්ඩායමෙන් කළ විමසුමකදී එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු පැවසුවේ තම කණ්ඩායම රටේ විශාල බලයක් ලබන නිසා ඉදිරි ජනාධිපතිවරණය හා පළාත් සභා ඡන්දය ඉලක්ක කරගෙන විශේෂ දේශපාලන සැලසුමක් දියත් කරන බවය. ඒ සඳහා සහාය වීමට පක්ෂ ගණනාවක ප්‍රධානීන් පොහොට්ටුව සමඟ අදහස් හුවමාරු කරගනිමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය. විශේෂයෙන් පසුගිය ජනාධිපතිවරණයේදී රාජපක්ෂවරුනට අහිමි වූ සුළු ජාතික පක්ෂ ඡන්ද ලබාගැනීම තම කණ්ඩායමේ ප්‍රධාන අරමුණ යැයි හෙතෙම වැඩිදුරටත් කීය.