
I රජිත ජාගොඩ ආරච්චි
අපොස සාමාන්‍ය පෙළ ගණිතය දෙවැනි ප්‍රශ්න පත්‍රය නිසා බරපතළ අපහසුතාවකට මුහුණ දී සිටින සිසුන්ට අධ්‍යාපන අමාත්‍යවරයා කඩිනමින් සහන සැලසිය යුතු යැයි හිටපු අධ්‍යාපන ඇමැතිවරයකු ද වන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා දේශයට පැවසීය.
අදාළ ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් තමා දිවයිනේ ප්‍රවීණ ගණිත උපදේශකයන්ගෙන් ද කරුණු විමසූ බව කී මන්ත්‍රීවරයා පැය තුනකදී ඔවුන්ට පවා ඊට නිසි ලෙස පිළිතුරු ලිවිය නොහැකි යැයි සඳහන් කළ බව ද කීය.
ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේදී විෂය නිර්දේශය, ඒ මත පිහිටා සකස්කරනු ලබන ගුරු අත්පොත, සිසුන්ට බෙදා දෙන පෙළපොත්, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා ඒ ඒ වර්ෂවලට අදාළ විෂය ඇගැයීම් වාර්තා යන කරුණු පහ මුල් කරගත යුතු වුවත් මෙවර ගණිතය ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටස සකස් කිරීමේදී ඒවා කිසිවක් සළකා බලා නැතැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම ප්‍රශ්න පත්‍රයේ අර්බුදය නිසා දැනටමත් එක් සිසුවෙකු අවාසනාවන්ත ලෙස සියදිවි හානිකරගෙන ඇතැයි කී මන්ත්‍රීවරයා තමන් අධ්‍යාපන ඇමැති ලෙස සිටි සමයේදී මෙබඳු ප්‍රශ්න ඇතිවූ විට දරුවන්ට සහන සැලසූ බව ද සඳහන් කළේය.
ගණිතය අසමත්වීම වැළැක්වීම සඳහා තමා අධ්‍යාපන ඇමැතිවරයාව සිටි සමයේදී විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්ගෙන් යුත් කමිටුවක් පත්කර වාර්තාවක් පිළියෙළ කළ බවත් ඊට අදාළ යෝජනා ක්‍රියාත්මක කරන මෙන් අධ්‍යාපන ඇමැතිවරයාගෙන් තමා ඉල්ලා සිටින බවත් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.