2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

පොල්ගෙඩි එපා : පැකට් හොඳා - පොල් අධිකාරියෙන් පුදුම ඉල්ලීමක්

 2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 112

I හසිත් අංජන

පොල් ගෙඩි භාවිතයේදී විශාල නාස්තියක් සිදුවන බැවින් පොල් නාස්තිය අවම කර ගැනීම සඳහා පොල් ගෙඩි භාවිතයෙන් වළකින ලෙස පොල් සංවර්ධන අධිකාරිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි.

පසුගියදා නිකුත් කළ එම නිවේදනය අනුව ආහාර සඳහා භාවිත කරන එක පොල් ගෙඩියකින් 40% නාස්ති වන බව පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. එම නිසා කාර්යබහුල ගෘහනියන්ට හිරමණයෙන් නිදහස ලබා ගැනීමට නම් පොල් ගෙඩි භාවිත කිරීමෙන් වළකින ලෙස පොල් සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කරයි. පොල් ගෙඩි භාවිතය අඩුකොට පැකට් කළ පොල් කිරි හෝ පිටි කළ පොල් කිරි පාවිච්චි කිරීමෙන් ජාතික ආර්ථිකය ශක්තිමත් වන බවද මෙම නිවේදනය මගින් පොල් සංවර්ධන අධිකාරිය තවදුරටත් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ පොල් වගාව සංවර්ධනය කිරීම භාරවී තිබෙන පොල් සංවර්ධන අධිකාරිය පොල් ගෙඩි පාවිච්චි නොකරන ලෙස පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටීම තමන්ට කිසිසේත්ම තේරුම් ගත නොහැකි පුදුම සහගත ඉල්ලීමක් බව පාරිභෝගික සංවිධාන නියෝජිතයෝ කිහිප දෙනෙක් දේශයට පැවසූහ.