2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

වැඩිම හානිය කළුතරට - තව දින දෙකක් ගැන අනතුරු අඟවයි

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 40

l සමන්ත ප්‍රදීප් විල්තෙර

ධාරාණිපාත වර්ෂාව හා සැඩ සුළං හේතුවෙන් දිවයින පුරා දිස්ත්‍රික්ක 15ක පුද්ගලයන් 7 දෙනකු මියගොස් තවත් පුද්ගලයන් 8 දෙනකු අතුරුදන්ව ඇතැයිද පවුල් 14,617ක පුද්ගලයන් 55,855 දෙනෙක් පීඩාවට පත්ව සිටිතියි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සිකුරාදා (01) දහවල් නිවේදනය කළේය.

ගස් කඩා වැටීම නිසා පුද්ගලයන් 30 දෙනකු තුවාල ලබා නිවාස 12,027ක් විනාශයට පත්ව රථවාහන රැසකට අලාභහානි සිදුව ඇතැයිද පවුල් 901කට අයත් පුද්ගලයන් 3279 දෙනකු ආරක්ෂිත ස්ථාන 28ක රඳවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

අයහපත් කාලගුණයෙන් වැඩිම හානිය කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා විය. පවුල් 8018ක පුද්ගලයන් 31,314 දෙනෙක් එහි පීඩාවට පත්ව සිටිති. කළුතර ව්‍යාපාරික ස්ථාන 82ක් හානියට පත්ව පොදු යටිතල පහසුකම් සැපයීමේ ස්ථාන 4කට හානි සිදුව ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සිකුරාදා පස්වරුව වනවිට මාතර නිල්වලා ගඟ සහ එහි ප්‍රධාන අතු ගංගාවක් වූ කිරමආර පිටාර ගැලීම නිසා ප්‍රදේශයේ පහත්බිම් ආශ්‍රිත ජනතාවට අවධානයෙන් පසුවන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබිණි.