
සකීෆ් සාම් තන්වීරි l
ඉන්දියන් ඔයිල් සමාගමට (IOC) පෙට්‍රල් රැගෙන පැමිණි තෙල් නැවක තිබූ ඉන්ධන නියම ප්‍රමිතියට අනුකූල නොවන බැවින් ආපසු හරවා යැවීමට බලධාරීන් පියවර ගෙන ඇත.
ඒ අනුව අදාළ ඉන්ධන නැව වරායෙන් පිටත්ව ගොස් තිබේ. ඔවුන් නැවතත් නිසි ප්‍රමිතියෙන් යුත් ඉන්ධන මෙරටට ගෙනඑන බවට ප්‍රතිඥා දී ඇතත් ඉන්ධන ගබඩාවල ඇති තෙල් තොග හමාර වෙමින් පැවතීම නිසා කිසියම් ඉන්ධන හිඟයක් ඇති විය හැකි බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.
ඉන්ධන නැව හරවා යැවුව ද නැවත ඛණිජ තෙල් සංස්ථාවට (CPC) අලුතින් තෙල් පැමිණීමට නියමිතව ඇත්තේ ලබන 06 වන සඳුදාය. එම නැවෙන් ඉන්ධන ගොඩබෑම සඳහා ද දින දෙකක් ගත වන බැවින් තෙල් හිඟයක අනතුරක් හටගෙන ඇතැයි ද වාර්තා වෙයි.
ඉන්දියන් ඔයිල් සමාගමට මෙරට ඉන්ධන සැපයුමෙන් 18%ක් හිමිව තිබේ. එම සමාගමේ තෙල් නොමැති වීමත් ඛණිජ තෙල් සංස්ථාවට එන තෙල් පමාවීමත් නිසා තෙල් හිඟයක් ඇතිවීමට ඉඩ ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.