
I සකීෆ් සාම් තන්වීරි
සයිටම් ආයතනය අහෝසි කර වෛද්‍ය උපාධිය විකිණීමේ ක්‍රියාවලිය නැවැත්විය යුතු යැයි රජයට බලකරමින් රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය මාපියන් මාරාන්තික උපවාසයක් ඇරඹීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
උපවාසය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීමට වෛද්‍ය පීඨ මාපියන්ගේ විශේෂ සමුළුවක් 29 දා නුගේගොඩ දී පැවැත්වෙන බව වෛද්‍ය පීඨ මාපියන්ගේ සංගමයේ ජාතික විධායක සභාවේ උපසභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා කීවේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ “88/89 රාගම වෛද්‍ය පීඨය ජනසතු කිරීමේ සටනට දෙමාපියෝ සම්බන්ධ නොවීම නිසා දරුවෝ විශාල ප්‍රමාණයක් අසරණ වුණා. ඒනිසා රජය සයිටම් ප්රශ්නය විසඳන්නෙ නැතිනම් ප්රශ්නය වහාම විසඳීමට බලකර දරුවෝ මිය යන තුරු බලා නොඉඳ මාපියෝ වශයෙන් අපි මරණය තෝරගන්න තීන්දු කළා” යනුවෙනි.
සයිටම් පෞද්ගලික වෛද්‍ය ආයතනයට එරෙහිව රජයේ වෛද්‍ය පීඨ සිසුන් දේශන වර්ජන ආරම්භ කර මාස 10ක් පමණ ගතවී ඇත. මේ අතර සයිටම් අර්බුදය සම්බන්ධයෙන් රජයේ අවසන් ස්ථාවරය සතියක් ඇතුළත තුළ ප්‍රකාශ කරන බව කියමින් ඉකුත් සතියේ ජනාධිපතිවරයා විශේෂ නිවේදනයක් ද නිකුත් කර තිබුණි.