
I ජේ.ඒ.එල්. ජයසිංහ
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් දෙපළ ප්‍රමුඛ කාරක සංඝ සභා එක්ව ජනාධිපති සහ අගමැති දෙපළ මහනුවරට කැඳවා සාකච්ඡා කොට තීරණයක් ගන්නා බව, මල්වතු අස්ගිරි ඒකාබද්ධ සංඝ සභාව වෙනුවෙන් අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ශ්‍රී ධම්මානන්ද හිමියෝ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසූහ.
එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී හිමියෝ මෙසේ පැවසූහ.
“යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව විශේෂ අධ්‍යයනයක් කරමින් මල්වතු අස්ගිරි මහානායක හිමිපාණන් වහන්සේලා දෙපළගේ අනුදැනුම හා අවසරය ඇතිව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ඉදිරියේදී අවසන් තීරණයක් ගනු ලබනවා.
මේ හදන ව්‍යවස්ථාව පිළිබඳව අපට විශ්වාසයක් නැහැ වගේම ව්‍යවස්ථාව හදන පාර්ශ්වය ගැනත් අපට විශ්වාසයක් නැහැ. මේ ව්‍යවස්ථාව තුළින් සිදුවන්නේ මේ රටේ ජාතීන් අතර විරසකයක්. අපි ආණ්ඩුවට කිසිම විරෝධයක් නැහැ. පවතින ව්‍යවස්ථාවට එරෙහිව නව ව්‍යවස්ථාවක් ගෙන එනවා නම් හෝ එය සංශෝධනයක් කරනවා නම් ඒකටත් අපි විරුද්ධ. ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් සමග සාකච්ඡා කර නව ප්‍රවේශයකට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හෝ අලුතෙන් ව්‍යවස්ථාවක් හැදීම හෝ සිදුකිරීම සම්බන්ධව අපට එකඟ විය හැකියි. නමුත් අප කියනදේටත් ඇහුම්කන් නොදී තවදුරටත් මේ ව්‍යවස්ථාව ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කළොත් අපි ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ අනෙකුත් සියලුම නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය පෙළ ගස්වා මේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒම වළක්වන්න පියවර ගන්නවා.”