
I දේශපාලන වාර්තාකරු
ඒකාබද්ධ විපක්ෂය දකුණු පළාත් සභාව තුළ වර්ජන ඇති කරමින් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය කළොත් ඉදිරි සති කිහිපය තුළ පළාත් සභාව විසුරුවා හරින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පළාත් සභා ජ්‍යෙෂ්ඨයන්ට දැනුම්දුන් බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.
පසුගිය සති කිහිපය තුළ දකුණු පළාත් සභාව තුළ දේශපාලන අර්බුදයක් ඇතිකළ ඒකාබද්ධ විපක්ෂය පළාත් සභාව පවත්වාගෙන යාමට බාධා කළේය. පළාත් මහඇමැති ශාන් විජේලාල් ද සිල්වා මහතා කැඳවා ඒ ගැන ප්‍රශ්න කළ ජනාධිපතිවරයා මහ ඇමැතිවරයාටද මේ ගැන කිසියම් දැනුම්දීමක් කර ඇතැයි කියැවේ.
අර්බුදකාරී තත්ත්වය මත දකුණු පළාත් සභාව විසුරුවන්නට සිදුවුවහොත් තනතුර අහිමි වන මහ ඇමැති ශාන් විජේලාල් ද සිල්වා මහතා පළාත් ආණ්ඩුකාර ධුරයට පත්කොට වත්මන් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා විදේශීය තානාපති පදවියකට පත් කිරීමටද සැලැසුම් කර ඇතැයි මේ ගැන (දේශයට) කරුණු දැක්වූ ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨයෝ සඳහන් කළේය.