2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

සම්පන්දන්ගේ ඉල්ලීමට මහින්ද බෑ කියයි

 2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 43

සංජීවිකා සමරතුංග |

මේ රටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය යැයි තමන් නොසිතන බවත් රජය තමන් ප්‍රමුඛ විපක්ෂයට කරන හිරිහැර කරදර නිසා ආණ්ඩුවේ කටයුතුවලට කිසිසේත්ම සහාය දිය නොහැකි බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතාට දන්වා තිබේ.

මෙම දැනුම් දීම කර ඇත්තේ පසුගිය අඟහරුවාදා හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ දී විපක්ෂ නායක සම්පන්දන් මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති විශේෂ සාකච්ඡාවකදීය.

සම්පන්දන් මහතා රාජපක්ෂ මහතාට හදිසියේ මුණගැසුණේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ශ්‍රී ලංකාවේ වැදගත් දේශපාලන ප්‍රශ්න ගණනාවක් ගැන සාකච්ඡා කිරීමේ අරමුණෙනි.

කෙසේ වෙතත් රටේ බරපතළ දේශපාලන ප්‍රශ්න ගැන තමන් තීන්දු ගන්නේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව හෙයින් මෙම ප්‍රශ්න ඔවුන් සමඟ ද සාකච්ඡා කරන බව රාජපක්ෂ මහතා විපක්ෂ නායකයාට දැන්වීය.