
යසවර්ධන රුද්රිගු |
මිල්කෝ ආයතනය 2017 වසරේ ජූනි මස දක්වා කිරි එකතු කිරීමෙන් ලබා ඇති පාඩුව රුපියල් කෝටි තිස්පහකට අධික බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) වාර්තා කර ඇත.
ආයතනය සතු කර්මාන්ත ශාලාවලට සැපයූ කිරිවලින් නරක් වී ඉවත දැමූ ප්‍රමාණය ලීටර් හාරලක්ෂ තිස්පන්දහසකට අධික වන අතර ඒ සඳහා ලබා ඇති පාඩුව රුපියල් තුන් කෝටියකට වැඩිවේ. එසේම කර්මාන්ත ශාලා හතරක් සඳහා වර්ෂය තුළ ලැබුණු කිරි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකට ගෙවීම් කර ඇති අතර එය ලීටර් හතළිස් හත් ලක්ෂයකට ආසන්නය. එයින් ලබා ඇති පාඩුව රුපියල් කෝටි තිස් දෙකකට ඉතාම ආසන්න බව වාර්තාවේ දැක්වේ. ඒ අනුව මුළු පාඩුව රුපියල් 350,157,998ක් බවට විගණනය කර ඇත.
එසේම 2016 වසර තුළ කිරි ලීටර් 35681ක් නරක් වී ඉවත දමා ඇති අතර ඉන් ලබා ඇති පාඩුව රුපියල් විසිපන් ලක්ෂයකට ආසන්නය. එම අවුරුද්ද තුළ කර්මාන්ත ශාලා හතරකට ලැබුණු කිරිවලට වඩා ලීටර් හය ලක්ෂයකට ගෙවීම් කර ඇති අතර එයින් සිදුව ඇති පාඩුව රුපියල් හාර කෝටියකට කිට්ටුවේ. මේ අනුව 2016 තුළ මිල්කෝ ආයතනය ලබා ඇති මුළු පාඩුව රුපියල් 421,044,78ක් වේ.
කෝප් කමිටුව මෙම විශාල අලාභයට හේතුව ලෙස නිරීක්ෂණය කර ඇත්තේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන නිසි අධීක්ෂණයකින් තොරව පවත්වාගෙන යාම සහ එලෙස අධීක්ෂණය කළ හැකි පරිදි එම මධ්‍යස්ථාන ස්ථාපිත නොකිරීමයි.
මේ නිසා ලැබෙන කිරි ප්‍රමාණයට වඩා වැඩි ගණනකට ගෙවීම් කර ඇති අතර, එකතු කළ කිරි නිසි පරිදි නිෂ්පාදන කාර්යයන්ට නොයොදවා තබා ගැනීම නිසා නරක් වී ඉවත දැමීමේ ප්‍රවණතාවද වසරින් වසර වැඩිවී ඇති බව පෙන්වා දෙයි.
මේ පිළිබඳ කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසන්නේ මෙය සහ තවත් දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කමිටුව මිල්කෝ සභාපති ඇතුළු නිලධාරීන්ට නියම කර ඇති බවය. එම වාර්තාවද ඉදිරියේදී සලකා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතව ඇත