2017 අගෝස්තු 19 වන සෙනසුරාදා

පළාත් සභා ඡන්දය ජනවාරි 08?

 2017 අගෝස්තු 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 143


උතුරු මැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් සභා ඡන්ද නොවැම්බර් මස අවසන් සතියේ හෝ ජනවාරි මස 08 වන දින පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දේශයට පැවසීය.

 

දැනට පවතින නීතිය යටතේ මෙම පළාත් සභා සඳහා නාමයෝජනා කැඳවීම සිදුකරන්නේ ඔක්තෝම්බර් මස 02වන දින බව ද ඔහු සඳහන් කළේය. නාමයෝජනා කැඳවීමෙන් සති 08කට පසු මැතිවරණය පැවැත්වීමට දින නියම කළ හැකි බව සභාපතිවරයා වැඩිදුරටත් කීය. එහෙත් දෙසැම්බර් මාසයේ යෙදෙන වර්ෂාවසාන නිවාඩු සහ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග හේතුවෙන් එම මාසයේ පළාත් සභා මැතිවරණය නොපැවැත්වෙන බවද හෙතෙම පැවසීය. ඉන්පසුව එළඹෙන 2018 ජනවාරි මස 08 වන දින ඡන්දය පැවැත්වීමේ හැකියාව ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ඉදිරියේ පැවැත්වෙන කිසිදු මැතිවරණයක් සැප්තැම්බර් මස 30වැනි දාට පෙර කැඳවීමට අපේක්ෂාවක් නැති බව කී මහින්ද දේශප්‍රිය මහතා ඊට හේතුව වසරේ ඡන්ද හිමි නාම ලේඛන සහතික කිරීම සැප්තැම්බර් 30වැනි දින සිදුකරන නිසා යැයි ද පැවසීය. යම්හෙයකින් සැප්තැම්බර් 30ට පෙර මැතිවරණයක් ප්‍රකාශයට පත්කළහොත් ප්‍රථමවරට ඡන්ද හිමිකම ලැබිය යුතු තරුණ තරුණියන් ලක්ෂ 03කට පමණ එම වරම අහිමි වන බවත් ඒ මහතා අවධාරණය කළේය.

සකීෆ් සාම් තන්වීරි |