2017 අගෝස්තු 05 වන සෙනසුරාදා

ආණ්ඩුකාර පාලනයට මහ ඇමැති විරුද්ධයි

 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 58

I සකීෆ් සාම් තන්වීරි

නැගෙනහිර පළාත් සභාවේ බලය ආණ්ඩුකාරවරයාට පැවරීමට තමන් සහමුලින්ම විරුද්ධ බවත් මැතිවරණයක් පැවැත්විය නොහැකිනම් දැනට තිබෙන සභාවේ කාලය දීර්ඝ කළ යුතු බවත් නැගෙනහිර පළාත් මහඇමති නසීර් අහමඩ් දේශයට පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමීන් මහඇමති නසීර් අහමඩ් පවසා සිටියේ “මේ කරන්න යන වැඩෙන් වෙන්නෙ අපි හුඟක් අමාරුවෙන් ආරම්භ කළ සංවර්ධන වැඩ සේරම අතරමඟ කඩාකප්පල් වීමක් විතරයි. සභාවේ කාලය දීර්ඝ නොකර ආණ්ඩුකාරවරයාට බලය දීම ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවක්. මේවා නිලධාරීන් පමණක් කරන්න ගියොත් බරපතළ පසුබෑමක් සිදු වෙන්න පුළුවන්. ඒ වගේම ආණ්ඩුකාරවරයාට විතරක් නැගෙනහිර පළාතේ තියෙන පළාත් පාලන ආයතන 45ක වැඩ තනියෙන් කරන්න බැහැ. එහෙම කරන්න ගියොත් මහජන සේවා සම්බන්ධ කටයුතු අඩාල වෙන්න පුළුවන්.” යැයි ද හෙතෙම කීය.

නැගෙනහිර, උතුරු මැද හා සබරගමු යන පළාත් සභාවන්වල නිල කාලය සැප්තැම්බර් මස අවසන් වීමට නියමිතය. මැතිවරණ ක්‍රමයේ සිදුවූ වෙනස්කම් නිසා මැතිවරණයක් පැවැත්වීමට සැප්තැම්බර් සිට තවත් අවුරුද්දක පමණ කාලයක් ගතවනු ඇතැයි පැවසේ. ඒ හේතුවෙන් නිල කාලය අවසන් වන පළාත් සභාවන් ආණ්ඩුකාරවරුන් යටතට පත්කිරීමට ආණ්ඩුව තුළ සාකච්ඡා පැවැත්වෙමින් වෙමින් තිබේ. මේ සම්බන්ධයෙන් උතුරු මැද හා සබරගමු මහඇමතිවරුන්ගෙන් කළ විමසීමේදී ඔවුන් පැවසුවේ තවමත් රජයේ තීරණය නීත්‍යනුකූලව තමන්ට දන්වා නොමැති නිසා කිසිවක් කිව නොහැකි බවයි. නමුත් සබරගමු පළාත් මහඇමති මහීපාල හේරත් මහතා සඳහන් කළේ රජය ගන්නා තීරණයකට තමන්ට එකඟ වීමට සිදුවිය හැකි බවයි.