
I දේශපාලන වාර්තාකරු
එ.ජා.ප.ය සහ ශ්‍රී.ල.නි.ප.ය අතර වන අවබෝධතා ගිවිසුම හමාරවීමෙන් පසු රජයෙන් ඉවත්වීමට අපේක්ෂාකරන ශ්‍රී.ල.නි.ප. මැති ඇමැති කණ්ඩායම ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨයකුගේ නායකත්වයෙන් වෙනම ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමක් ලෙස මැතිසබයේ ක්‍රියා කිරීමට මේ සතියේ තීන්දු කළේය.
දේශය සමඟ මේ ගැන අදහස් දැක්වූ එම මන්ත්‍රී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයකු නිසා සිටියේ තමන් ස්වාධීනව සිටිය ද ඉදිරි මැතිවරණ තරග කරන්නේ ඒකාබද්ධ විපක්ෂය සමඟ බවය. එහිදී ඔවුන් නියෝජනය කරන මන්ත්‍රී ආසනවලට ලැබෙන අපේක්ෂක කෝටාව (සංඛ්‍යාව) ගැන දැනටමත් ඒකාබද්ධ විපක්ෂය සමඟ සාකච්ඡා කරමින් සිටින වගද ඔහු අවධාරණය කළේය. කෙසේ වෙතත් තම මන්ත්‍රී පිරිස ජී.එල්., බැසිල් කණ්ඩායම මෙහෙයවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ නොවන වගද ඔහු අවධාරණයෙන් පැවසීය.
සිය ස්වාධීන කණ්ඩායමේ නායකයා දැනටමත් තෝරාගෙන හමාර බව ඔහු වැඩිදුරටත් පැවසීය. එම ජ්‍යෙෂ්ඨයා දැනට කැබිනට් අමාත්‍ය පදවියක් දරන ශ්‍රී.ල.නි.ප.යේ මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උසස් තනතුරු දැරූවකු බවද හෙතෙම සඳහන් කළේය. කෙසේ වෙතත් තම කණ්ඩායම ඉදිරියේදී නැවතවරක් ජනාධිපතිතුමා සමඟ සාකච්ඡාවක් කිරීමට අදහස් කරන්නේ යැයි පැවසූ එම ප්‍රකාශකයා කළින් 18 දෙනකු වූ තම කණ්ඩායම දැන් 17 දෙනකුගෙන් සමන්විත බව කීය. ඒ අතර තවත් මන්ත්‍රීන් ගණනාවක් මේ ගැන තම කණ්ඩායම සමඟ සාකච්ඡා කරමින් සිටින්නේ යැයිද ඔහු විශේෂයෙන් පැවසීය.