2017 ජුලි 29 වන සෙනසුරාදා

හෙට එන දොස්තරලාගේ පාර වැහේ

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 58

| රජිත ජාගොඩ ආරච්චි

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව මාස හතක් මුළුල්ලේ රජයේ වෛද්‍ය විද්‍යාලවල ශිෂ්‍යයන් සිදුකරන අඛණ්ඩ පන්ති වර්ජනය නිසා 1200කට වැඩි වෛද්‍ය සිසුන් සංඛ්‍යාවකට සීමාවාසික වෛද්‍ය පුහුණුව කරා යොමුවීමට නොහැකි වීමෙන් වෛද්‍ය සේවය බරපතළ අර්බුදයකට ලක්ව ඇතැයි දේශයට වාර්තා වේ.

ඒ පිළිබඳව කළ විමසීමකදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිනී මහාචාර්ය සුරංගි යසවර්ධන මහත්මිය ප්‍රකාශ කළේ මෙරට වෛද්‍ය සේවාවට නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකි පාඩුවක් සිදුවෙමින් පවතින බව ය. 

ඇය පෙන්වාදුන්නේ 1981 වසරේදී රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පැවැති ශිෂ්‍ය පන්ති වර්ජන නිසා මෙරට වෛද්‍ය සේවයේ ඇතිවූ ගැටලු විසඳාගැනීමට වසර 10ත් 15ත් අතර කාලයක් ගත වූ බවය.

තවද නව ශිෂ්‍ය කණ්ඩායමක් සීමාවාසික පුහුණුව කරා යොමුවන තුරු එහි රැඳී සිටීමට දැනට සීමාවාසික පුහුණුව ලබන වෛද්‍යවරුන්ට සිදුවන නිසා එම පිරිස ද ඉදිරියේදී දරුණු සේවා දුෂ්කරතාවයකට මුහුණ දෙනු ඇති බව ඇය කියා සිටියාය.  

2017 ජනවාරි මස සිට අඛණ්ඩව ක්‍රියාත්මක වන වෛද්‍ය සිසු පන්ති වර්ජනය හේතුවෙන් දැනට සියලු වෛද්‍ය විද්‍යාලයන්හි අවසන් වසරේ සිටින සියලු සිසුන්ට සීමාවාසික පුහුණුව කරා යොමුවීමට නොහැකි වී තිබේ.