2025 අගෝස්තු 16 වන සෙනසුරාදා

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣දෙවරක් හිතන්න!

 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 47

දේශපාලන වාර්තාකරු I

හිටපු කතානායක කරූ ජයසූරිය

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති තීන්දුව ගැන නැවත සලකා බලන මෙන් විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ සංසදයේ සභාපති හිටපු කතානායක කරූ ජයසූරිය මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටී. මේ වන විට විශ්‍රාමික මන්ත්‍රීන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් 490ක් පමණ මෙම විශ්‍රාම වැටුප් ප්‍රතිලාභය ලබති. ඔවුන්ගෙන් බහුතරය එම වැටුපෙන්ම ජීවත් වන සෑහෙන දිළිඳු තැනැත්තන් බව පැවසූ ජයසූරිය මහතා මේ අතර ප්‍රධාන පෙළේ පක්ෂ නායකයන් 4 දෙනකු ද සිටින බවද අවධාරණය කළේය.

මහජන නියෝජිතයන් ලෙස පත්වන තැනැත්තන් සියල්ලන්ම සොරුන් හෝ වංචනිකයන් නොවන බැවින් ඉතා අසීරුවෙන් දිවිගෙවන මෙම පිරිස් ගැන කරුණා සහගතව ක්‍රියා කළ යුතු යැයි පැවසූ හිටපු කතානායකවරයා විශ්‍රාමික මහජන මන්ත්‍රීන්ට විශ්‍රාම වැටුප් ගෙවීම ඉන්දියාව, ඇමෙරිකාව, එංගලන්තය සහ යුරෝපය ආදී බොහෝ රටවල සිදුවන කටයුත්තක් බවද සඳහන් කළේය. ඇතැම් හිටපු මන්ත්‍රීවරුන් ආහාර සහ ඖෂධ ලබාගන්නේද මෙම විශ්‍රාම වැටුපෙන් බවද ඔහු පැවසීය.
ආණ්ඩුව විශ්‍රාම වැටුප සම්බන්ධව අවසන් තීන්දුවක් ගැනීමට පෙර මෙම කරුණු ගැන ද අවධානය දැක්විය යුතු යැයි ජයසූරිය මහතා වැඩිදුරටත් කීය.